මේ 2004 වර්ෂයේ අග අගෝස්තු මාසය විය හැකි බවයි මගේ මතකය. පොලොන්නරුවේ සිට හබරණ මාර්ගයේ මින්නේරිය වන ජීවි කාර්යාලය පසුකල තැන් සිටම විහිදෙන්නේ මහ කැලෑවය. දෙපසින් වැවුනු මහා ඝන වනාන්තරයේ ගහකොල අග්ගිස් ප්‍ර්‍රධාන මාවතේ ඉහලින් එකතුවී ඇත්තේ ආරුක්කුවක් පරිදි මාවතේ යන එන්නවුන්ට සෙවන සලසන පරිද්දෙන් ය.
මේ අලුයම මාවතේ ගමන් කල අයෙකු කැලෑව තුලට එබුනේ ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමටය. මාවතට නොපෙනෙන වන බූටෑවකින් වැසුනු එහෙත් පිට්ටනියක් සේ එලිපෙලි වූ තැනක ඔහු ඇනබාගන්නට සූදානම් වූවා පමණි. ඔහුට මඳක් ඔබ්බෙන් වාහනයක් ගිනිගනිමින් තිබේ. ඔහු භ්‍රාන්තයෙන් විසල් කොටගත් ඇස් සහිතව එතැනින් පලා ගියේය. පොලීසියට තොරතුර ලැබුනේ ඔහුගෙනි.
පොලිස් කන්ඩායම් එම ස්ථානයට පැමිනෙද්දීද ගිනිගත් වාහනයෙන් දුම් රොටු නැගෙමින් තිබිනි. වාහනයේ රියදුරු අසුන මත දැවී පිලිස්සී ගිය මළ සිරුරකි. අවට කළ පරීක්ෂාවකදී ගිනිගත් වාහනයට මඳක් නුදුරින් පිරිමි අත් පසුම්බියක් සහ ඉන්ධන මඳක් ඉතිරිවූ ප්ලාස්ටික් කෑනයක් දක්නට තිබිණි. මුදල් පසුම්බිය තුල තිබූ හැඳුනුම්පතින් වාහනයේ පැමිණිය හැකි යැයි සැකකල අයගේ හැඳුනුම්පත සොයාගන්නට හැකි විය. මියගිය අය මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු විය. ඒ අනුව පොලිස් පරීක්ෂණ ඇරඹිණි.
හැඳුනුම්පතට අමතරව මුදල් පසුම්බිය තුල මහනුවර ප්‍රදේශයේ රථ වාහන කුලියට ලබා දෙන තැනකින් වාහනයක් ගත් බව දැක්වෙන රිසිට්පතක් ද විය. මුදල් කොල්ලකෑමකට හෝ පෞද්ගලික කෝන්තරයක් පිරිමසාගැනීමට සිදුකළ ඝාතනයක් බවට සැක කල පොලීසිය මේ අභිරහස විසඳීමට එවකට පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී.පී.පතිරණ මහතා විසින් පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට බාර දෙන ලදී. හැඳුනුම්පතේ ලිපිනය ඔස්සේ ගිය පොලිස් කන්ඩායමට මියගිය බවට සැක කරනු ලබන අයගේ බිරිඳ සහ සොහොයුරා හමුවිය.
බොහෝ කලක් එංගලන්තයේ රැකියාවක නිරතව සිටි මියගිය අය (අප ඔහු සුදත් යනුවෙන් අමතමු) සිද්ධියට පෙරදා මහනුවර චාල්ටන් නමැති කුලී රථ ලබාදෙන ආයතනයෙන් ලබාගත් වාහනයෙන් පිටත්ව ගොස් තිබුනේ නැවත පිටරට යාමට පෙර එහි ගෙන යායුතු කිසිවක් මිලදී ගන්නටය. එහෙත් අතර මඟදී දුරකතන මගින් කතාකොට තමා හදිසියේ පොලොන්නරු යන බව දැන්වූ නමුත් එතැන් සිට මෙතෙක් ඔහුගේ දුරකතනය ක්‍රියා නොකල බවය.
වාහනය තුල තිබුනු පිළිස්සුනු මළ සිරුර පිලිබඳ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම පිනිස එය වෝහාරික වෛද්‍ය පීඨය වෙත ඉදිරිපත් කෙරිනි. මේ අතර සුදත්ගේ ඥාතිහු මියගිය ඔහු වෙනුවෙන් මහනුවර දවුලගල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සත් දින දානමය පිංකම සඳහාද කටයුතු යොදා තිබුණි. පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිවිල් ඇඳුමින් එහි සැරිසැරුවේ මෙම මිනීමැරුම ගැන යම් කිසි හෝඩුවාවක් සොයා ගැනීමටය. ඔවුන්ගේ සැකය සුදත්ගේ සොහොයුරා කෙරෙහි මෙන්ම සුදත් ගේ බිරිඳ කෙරේද යොමුවී තිබුනේ බිරිඳගේ ඇඬුම් වැලපුම්වල දක්නට තිබුනු කෘතිම බවක් හේතුවෙනි. පරීක්ෂණ දැල් එලා තිබිනි.
මේ අතරේ සියලු පරීක්ෂණ හා මෙහෙයුම් කණපිට පෙරලමින් මළ සිරුර පිලිබඳ වෛද්‍ය වාර්තාව නිකුත් විනි. ගිනිගත් වාහනය තුල තිබී සොයාගත් මෘත දේහය පිරිමියෙකුගේ නොව ගැහැණියකගේ ය. සියල්ල අවුල් වී තිබේ. සුදත් අතුරුදහන්ය. ඔහුගේ වාහනයේ තිබූ මළ සිරුරේ අයිතිකරු කවරෙක්ද. සුදත් මේ ගැහැනිය මරා දමා පුලුස්සා පැන ගියේද ප්‍රශ්න ගනනාවක් සඳහා පොලීසිය පිලිතුරු සෙව්වෝය.
විවිධ වෙස්ගත් පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දවුලගල සුදත්ගේ නිවස අසල ඒ මේ අත සැරි සැරූහ. එහෙත් කිසිදු වෙනසක් නැත. ඇතැම් දිනෙක වෙස්වලාගත් පොලිස් නිලධාරින් සුදත්ගේ සොහොයුරා හා බිරිඳ පසු පස කොතෙකුත් ඇවිද්දෝය. ඔවුන් සාමාන්‍ය පරිදිය.
පරීක්ෂණ කටයුතු දියවෙමින් තිබිනි. එක්තරා දිනෙක කේ.පී.පි. පතිරණ මහතා සුදත්ගේ බිරිඳටත් ඔහුගේ සහෝදරයාටත් වහා පැමිණ තමුන් හමුවන ලෙස නියෝග කළේය. ඔවුන් දෙදෙනා සමඟ බොහෝ වෙලාවක් කතා කල පොලිස් අධිකාරිවරයා පිටත්ව යන ඔවුන් පසු පස ලුහුබැඳීමට වෙස් වලාගත් පොලිස් නිලධාරියෙකු යෙදවීය. දවුලගලදී සුදත්ගේ සොහොයුරා නිවස පෙනෙන මානයේදී මාවතේ සවිකල දුරකතන ආවරණයකින් ඇමතුමක් ගත්තේය. පොලිස් අධිකාරිවරයා අදාල දුරකතන සමාගමෙන් එහි තොරතුරු ලබා ගත්තේය.
යලිත් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කාර්යය බහුල විය. සුදත්ගේ සොහොයුරා විසින් ඇමතුම ලබාගත්තේ ජංගම දුරකතනයකටය. එම ජංගම දුරකතනයට ඇමතුම් ලැබී ඇත්තේ ද මහනුවර ආශ්‍රිත සංඥා කුළුනුවලින් පමණි පොලීසිය එම දුරකතන අංකයට ලැබී ඇති විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තේය. මේ අතර පොලීසිය සුදත්ගේ මරණයෙන් කිසියම් වාසියක් කිසියම් පාර්ශවයකට අත්වන්නේදැයි සොයා බැලීය. සුදත් විසින් එංගලන්තයේ සිටියදී රක්ෂණ සමාගමක් වෙත බැඳුනු ගිවිසුමකට අනුව ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ කලත්‍රයාට අයිති වන සේ යෙදවූ ඉහල වටිනාකමකින් යුත් රක්ෂණ ආවරණය පිලිබඳව හෙළිවූයේ එලෙසය.
මේ අතර දුරකතන වාර්තා පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම දුරකතන අංකය හා නිතර සබඳතා පැවැත්වූ අයෙකු හඳුනාගන්නා ලදී. හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කරන සේවකයෙකි. පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.
මුලදී කිසිවක් ප්‍රකාශ නොකලද පසුව ඔහු හෙළිකළේය. වෛද්‍ය පීඨයෙන් ඉවත් කොට භූමදානය පිනිස සූදානම් කළ පිරිමි මළ සිරුරක් ලබා දෙන්නේනම් ඔහු තමාට වාසි දායක මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත ඊට අදාල මෘත දේහයක් ලැබෙන තුරු සිටියද පිරිමි මෘත දේහයක් වෙනුවට කාන්තා මළ සිරුරක් ඔහුට තමා විසින් ලබා දුන් බව හෙතෙම පොලීසියට පවසා සිටියේය.
සුදත්ගේ සොහොයුරාද සුදත්ගේ බිරිඳද අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව පොලිස් උපදෙස් මත සුදත්ගේ සොහොයුරා විසින් ලබා දුන් දුරකතන ඇමතුමට මෙතෙක් මියගියේයැයි සැක කළ සුදත් කතා කකළේය. පොලීසිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සැඟවී සිටි ඔහුවද ඔහුගේ ප්‍රකාශ මත මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් අයෙකුද අත් අඩංගුවට ගන්නා ලදී. විදේශගත රක්ෂණ මුදල ලබාගැනීමට තමා මියගියේ යැයි ඔප්පු කරන්නට තැත් කල ශ්‍රී ලංකාවේ පළමු වැන්නා ඔහු බවයි දැනගන්නට ඇත්තේ.
මෙම විත්තිකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිනවූ දා තවත් කම්පාසහගත දෙයක් සිදුවිය. අධිකරණය තුල විත්ති කූඩුවේ සිටින තමා මෙතුවක් මියගියේ යැයි සිතා පිං පැමිණවීම් කළ තම පුතා ජීවතුන් අතර සිටිනු දුටු සුගත්ගේ මෑනියෝ අධිකරණය තුලම ඇතිවූ ශෝක වේදනාව දරා ගත නොහැකිව ළය පැලී මිය ගියාය.
--ඉන්දු--
Friday, May 19, 2017
මවක් ළය පැලී මියගිය - පොලොන්නරුව සෙලවූ අබිරහස් ඝාතනයක සුළමුල හෙළිවූ හැටි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment