
දැනටමත් මේ පිළිබඳව පුවත්පත් කිහිපයකින් හා රූපවාහිනි නාලිකා කිහිපයකින් මා ඇතුළු ලේඛකයින් කිහිපදෙනෙක්ම අදහස් දක්වා ඇති අතර, ඡන්ද ලකුණ ගැනද යමක් අලුතින් කිව යුතුව තිබේ.
ඉතා අහිංසක දුර්වල පක්ෂියෙකු වන හංසයා තරගයකට උචිත ශක්තිමත් සංකේතයක් නොවීමත්, බුලත් කොළය යන්න සංකේතාත්මකව ශක්තිමත් සංකේතයක් වීමත් මුල් බැල්මටම පෙනෙන අවාසි සහගත තත්ත්වයකි.
බුලත් කොළය පෙරදිග සංස්කෘතික ලෝකයේ තිබෙන අතිශයින්ම බලගත වූ සශ්‍රීකත්වය ජයග්‍රහණය පෙන්වන ලකුණකි. අලියා වැනි ශක්තිමත් සතකු තම ලකුණ වශයෙන් ගත් කාලයේදී එහි නායකයා කොතරම් බලගතුව සිටියාද යන්න අප දනිමු.
හංසයා යනු සුළු සිදුවීමකදී පවා හිස පහත් කරගෙන දියයට යන දුර්වල සත්ත්වයෙකි. බොහෝ දෛවඥයන් මෛත්‍රීපාල මහතාගේ කේන්ද්‍රය වරදවා සකස් කර ඇති අතර, පුවත්පත් කීපයකම එම වැරදි කේන්ද්‍ර සහිත ලිපි පළවී තිබෙනු දුටුවෙමි.

2014.12.10 වන දින ස්වාධීන රූපවාහිනි සේවයේ “ඇතුලාන්තය” වැඩසටහනේදී මා ප්‍රකාශ කළ පරිදි, මෛත්‍රීගේ පුස්කොළ කේන්ද්‍රය ඇත්තේ මා ළඟම පමණකි. එතුමා එය මට දුන්නේ පුද්ගලික කටයුත්තක් සඳහාය. ඒ නිසා එහි විස්තර හා වේලාව ගැන මා එළිකරන්නේ නැත.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලග්නය මේෂ නොව තුලා බවත්, උපන් නැකත හත නැකත නොවෙන අතර නිවැරදි නැකත උත්‍රපල නැකතේ 3 වන පාදය බවත් ප්‍රකාශ කරමි. මහින්ද මහතාගේ කේන්ද්‍රය අනුව එතුමා දැනට ගත කරන්නේ ගුරු මහ දශාවේ බුධගේ අන්තර දශාවය.
උපතේදී “කෝටියක්” දෝෂ භංග කරමින් දිග් බලයෙන් යුතුව ලග්නයේ සිටින ගුරු ග්‍රහයා ඔහුට බුද්ධිය, ජනබල දෙවියන්ගේ ආකර්ෂණය ලබාදී ඇති අතර, දහවැන්නේ සිටින රාහු ග්‍රහයා යුද ජයග්‍රහණය සහිතව මිය යනතුරු රාජ්‍ය බලය හිමිකර දී ඇත.
ජනාධිපතිතුමාගේ කේන්ද්‍රෙය් බලවත්ම යෝගයක් වන්නේ “චන්ද්‍ර අධි යෝගයයි” ඕනෑම ගැටලුවකට දක්ෂ ලෙස මුහුණදීමේ චිත්ත ශක්තිය ඉන් ඔහුට ලැබී ඇත. මෛත්‍රීගේ කේන්ද්‍රය අනුව ඔහු දැනට ගත කරන්නේ සෙනසුරුගේ මහ දශාවේ රවිගේ අතුරු දශාවයි.
මෛත්‍රී දැනට ලග්න ඒරාෂ්ටකය ගත කරයි. මහජනයා නියෝජනය කරන 7 අධිපති කුජ නීචවීම නිසා කුජගෙන් නියෝජනය වන කතරගම දෙවියන්ගේ ආකර්ෂණය මෛත්‍රීට ලැබෙන්නේ නැත. පොදු මහජනතාව නියෝජනය කරන ශනි ග්‍රහයා මෛත්‍රීගේ බලවත්ම අශුභ ග්‍රහයා බවට පත්වන්නේ ශනි ඔහුගේ 22 වන දෙර්කාණාධිපති වීම නිසාය.
උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීමෙන් යුද්ධයෙන් ජයගත් රට නැවත එල්.ටී.ටී.ඊ.යට දීමට ගිවිසුමක් අස්සන් කළ බව දැන් දැන් පොදු ජනයා අතර පැතිර යාම නිසා පොදු ජනයා මෛත්‍රීගෙන් ඈත්වීමට හේතු පෙනේ. මැතිවරණය සඳහා දෙදෙනා නාම යෝජනා භාරදුන් නැකැත්ද මෛත්‍රීට අපලදායක තත්ත්වයක් ඇතිකර තිබේ.
නාමයෝජනා දිනයේ උදාවී පැවති “අද” නැකත මෛත්‍රීට ක්ෂේම නැකතක් වූ අතර මහින්දට එය “සාධන” නැකතක් විය. මහින්ද මහතා නාමයෝජනා භාරදුන්නේ 2014/12/08 වන දින උදේ 10.48ටයි. එම වේලාව රාහුට අයත් “අද” නැකත උදාවී තිබූ අතර අව දියවක තිථිය අනුව අමෘත යෝගය පැවතුනි.
අස්විද නැකතින් උපන් මහින්දට භේරුණ්ඩ පක්ෂියා උපතින් හිමිවන හෙයින් එම නැකැත් වෙලාවේ භේරුණ්ඩ පක්ෂියා රජ අවස්ථාවේ සිටියේ ය. තරගයකදී විශේෂයෙන්ම පක්ෂියා රජවී සිටීම ගැන නැකැත්කරුවන් උනන්දුවක් දැක්විය යුතුය.
අවාසනාවකට මෙන් නාමයෝජනා භාරදුන් උදේ 10.07 වෙලාව වනවිට මෛත්‍රීගේ “කාක” පක්ෂියා සිටියේ නිදි අවස්ථාවේ ය. පක්ෂියා රජවී සිටි අයකු පැරදවීමට පක්ෂියා නිදි අවස්ථාවේ සිටි අයකුට හැකියාවක් ලැබෙන්නේම නැත. මෛත්‍රීගේ උත්පත්ති කේන්ද්‍රයේ දහවැන්නේ නීචවී සිටින්නේ කුජ ග්‍රහයායි.
කුජ ග්‍රහයා කතරගම දෙවියන්ට හා ලේ ධාතුවට හා වීර්යයට අධිපති ග්‍රහයාය. කුජ නීචවූ විට ධෛර්යය අඩුවනවාක් මෙන්ම කතරගම දෙවියන්ගේ ආකර්ශනය ලැබෙන්නේ ද නැත. කතරගම දෙවියන්ගේ ආකර්ශනය බලවත් ලෙස නැති අයෙකුට ලංකාවේ පාලනය ලැබෙන්නේ නැත.
අනිත් අතට මෛත්‍රීගේ සටන මෙහෙය වන රනිල් දැන් ගතකරන්නේ බුධ මහ දශාවේ කේතු අන්තරයයි. ඔහු මීන ලග්නකරුවෙකි. රටට අහිතකර ගිවිසුම්වලට අප්‍රසිද්ධියේ රහසින් එළැඹීමට ඔහු පෙළඹෙන්නේ මෙම කුමන්ත්‍රණකාරී කේතු ග්‍රහයාගේ බලපෑම නිසා ය.
1945.09.29 දින උදේ 9.56ට උපන් චන්ද්‍රිකාගේ කටක ලග්න කේන්ද්‍රය ද සජිත්ගේ මිථුන ලග්න කේන්ද්‍රය ද මේ දිනවල ඇත්තේ ආශ්‍රය කරන අය අමාරුවේ දමන ග්‍රහ තත්ත්වයකි. මේ රටේ අතීතයේ සිටි ඩඩ්ලි, ජේ. ආර්. සිරිමා, දහනායක මෙන්ම වර්තමාන ජනාධිපති මහින්ද ද කන්‍යා ලග්න හිමියන් ය.
ගාමිණී දිසානායක, සරත් ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන තුලා ලග්න හිමියන් ය. තුලා ලග්න හිමියකුට ලංකාව පාලනය කිරීමට පින් නැති බව පවසන්නේ සරත් ෆොන්සේකාටත්, ගාමිණී දිසානායකටත් සිදුවූදේ සිහිපත් කරමිනි.
මේ අනාවැකිය කිසිම ලෙසකින් වැරදීමට ඉඩක් නැති අතර, මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළහොත් මෙය ලියන මා රූපවාහිනී නාලිකාවක් තුළදී ගිනිතබා ගන්නා බවට ද, මෙය කියවන හැම අයෙකුටම මෙයින් පොරොන්දුවක් දෙනු ලබන්නේ කිසි ලෙසකින් මගේ අනාවැකිය වැරදීමට ඉඩක් නැති නිසා ය.
දිනමිණ ඇසුරෙනි
No comments:
Post a Comment