මව් සෙනෙහස ගැන සෑම තැනකදීම මහා ඉහළින් කතා බහට ලක් වන්නේ ය. එසේ වුව ද පිය සෙනෙහස අවධානයට ලක් වන්නේ අඩුවෙන් ය. ඒ පිය සෙනෙහස මව් සෙනෙහස තරම් සංවේදී ලෙස ප්‍රදර්ශනය නොවන නිසා ද වන්නට පුළුවන. කෙසේ වුවද පසුගියදා ලෝකයම පිය සෙනෙහස ගැන අපූරු පුවතක් අත්වින්දේ ය. ශ්‍රී ලාංකික අපට ඒ පුවත එක් අතකින් දුකකුත් කනගාටුවකුත්, ආඩම්බරයකුත් දැනවීය. ඒ පුවත ශ්‍රී ලාංකික පියෙක් වටා ගෙතුණු බැවිනි.
මේ පියා ක්‍රිෂ් ටයිලර් ය. ලංකාවේ වත්තල ප්‍රදේශයේ ජීවත් වූ ඔහු ඒ යුගයේ දී භාවිතා කළේ වෙනත් නමක් වුව ද ඩුබායි හි රැකියාවකට ගිය පසු ක්‍රිෂ් යන නම භාවිතා කළේ ය. ඩිරාම් මලු ගණන් ලැබෙතැයි සිතා ශ්‍රමය කැප කළද ක්‍රිෂ්ගේ සිතුම් පැතුම් එළෙසින්ම ඉටු වූයේ නැත.
ඔහු තමා වැනිම තවත් ගැහැණු සහ පිරිමි කිහිපදෙනෙක් සමග ලාබ නවාතැනක දුෂ්කර ජීවිතයක් ගෙවමින් සිටියේ ය. 2009 වසරේදී ඩුබායි කරා පැමිණි පිලිපීන ජාතික කාන්තාවක් ද මේ ලාබ නවාතැනේ සෙවණ සොයා පැමිණීයාය. ඇයගේ අභිලාශය මුදල් ඉපයීම විය.
නෑයෙක් සමීපතමයෙක් නොමැතිව කාශ්ඨක වැලි කතරේ ගෙවන ජීවිතය ක්‍රිෂ්ට මෙන්ම මේ පිලිපීන කාන්තාවට ද කිසිඳු ආශ්වාදයක් අත් කර දුන්නේ නැත. එනිසාම ඔවුහු නිරායාසයෙන්ම එකිනෙකා වෙතින් ආශ්වාදය සෙවූහ.
පිලිපීන ජාතික කාන්තාව ඉක්මනින්ම මවක් වන ලකුණු පහළ කළා ය. නිසැකයෙන්ම ක්‍රිෂ් නම් ඒ පුවතින් ප්‍රීතියෙන් ඉපිල යන්නට ඇත. තම ජීවන කතරේ කුසුමක් පිපෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළා වන්නට පුළුවන. පිලිපීන ජාතික කාන්තාවට නම් මව් සෙනෙහස බොහෝ දුරක විය.
ඇය දරුවා කුසේ සිටියදීම වරක් දෙවරක් විදේශ ගත වූවා ය. යළි පැමිණියා ය. විවාහ බැම්මෙන් බැඳී නොසිටි මේ යුවළ කුසයේ වැඩෙන දරුවා ගැන දැක්වූයේ කිනම් ප්‍රතිචාරයක් දැයි දන්නේ ඔවුන් පමණක්මය. නිසි දින ගණන් සැපිරූ පිලිපීන කාන්තාව අසල්වැසි එමිරේට්ස් හි ශාර්ජා පෞද්ගලික රෝහලේ දී දියණියක ප්‍රසූත කළාය.
ඇයට තිබුණේ පියාට වඩා මවගේ මුහුණුවරය. මව් පිය දෙදෙනා ඇයට එලීනා යනුවෙන් නම් තැබූහ. පොතේ ලියවුණු කසාදයක් ද නොවූ බැවින් එලීනාට නීත්‍යානුකූල පියෙක් ද වූයේ නැත. එහෙත් පිය සෙනෙහසින් නම් ඇයට අඩුවක් තිබුණේ නැත. කසාද බැම්මෙන් තොර වුව ද නිත්‍යානුකූලව පියා ලෙසින් ලියාපදිංචි නොවුවද ක්‍රිෂ් තම දියණියට සෙනෙහසින් කිසිඳු අඩුවක් කළේ නැත.
කාලය ගත වී ගියේ ය. ඒ වර්ෂ ගණනින් නොවේ. මාස ගණනිනි. එලීනා ලද මව් සෙනෙහස තීරණය වූයේ ද වර්ෂ ගණනින් නොව මාස ගණනිනි. ඇයට වයස මාස තුනක් වන්නටත් පෙර ඇයගේ පිලිපීන ජාතික මව ඇයත් පියාත් හැර දමා විදේශ ගත වූවාය. මින් පෙර සිදු වූ අන්දමින් ඇය යළි පැමිණෙතැයි ක්‍රිෂ් බලා සිටින්නට ඇත.
එහෙත් ඇය ක්‍රිෂ්ට සෙනෙහස නොපෑවා වන්නට ඇත. එලීනා ඇයට සම්පතක් නොවන්නට ඇත. ඇය යළි ඔවුන් දෙදෙනා කරා පැමිණියේ නැත. ඇය සමගින් එලීනා සම්බන්ධ සියලු ලියකියවිලි ද අස්ථාන ගත විය.
ඇයගේ වියෝගය ක්‍රිෂ්ව අන්තිම අඩියට ඇද දමන්නට ඇති බව නිසැකය. ඒ සමගින් ඔහුට ප්‍රශ්න ගලා එන්නට වූයේ ය. අන් කවදාවත් නොමැති තරමට අගහිඟකම් දැනෙන්නට විය. තුන් මසක් වයසැති අතදරුවකු සමග පිරිමියකුට තනි ජීවිතයක් කොතරම් අමාරු වන්නට ඇති ද? එහෙත් ක්‍රිෂ් ඒ සියල්ල දරා ගත්තේ ය.
ඒ එලීනා වෙනුවෙනි. ඔහු මුදල් සෙවීමට නොකළ දෙයක් නැති තරම් ය. ඒ සෑම මොහොතකදීම තම දියණිය ඇස් මානයෙන් ඉවත් නොකිරීමට ඔහු වගබලා ගත්තේ ය. සියල්ල අහිමිව යන මොහොතක එකම සතුට දියණිය නිසා වන්නට ඇත. මුදල් ඉපයීමට ඔහු කාර් සේදුවේ ය. ඒ අත දරු දියණිය ද තමා අසලින් තබා ගෙනය.
කාලය ගෙවී ගියේ ය. එහෙත් ක්‍රිෂ් වෙත පැමිණි ගැටලු අවසන් වූයේ නැත. ඩුබායි හි රැඳී සිටීමට ක්‍රිෂ් ට ලැබී තිබුණු කාලය අවසන් විය. එහෙත් වීසා දීර්ඝ කර ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔහු සතු වූයේ නැත. ඒ අතරම ඔහුගෙන් අයවිය යුතු ඩිරාම් 18 000ක මුදලක් වෙනුවෙන් එරට බැංකුවක් ඔහු නීතිය හමුවට කැඳවූයේ ය. පසුගිය ජනවාරියේ ඩුබායි පොලීසිය ක්‍රිෂ් අත්අඩංගුවට ගත්තේ ය.
තමාට කෙදිනක හෝ නීතිය ඉදිරියට යාමට සිදුවන බව ක්‍රිෂ් දැන සිටිය ද එවන් මොහොතක දියණිය ට ලබා දෙන පිළිසරණ කුමක්දැයි ඔහුට අදහසක් තිබුණේ නැත. වෙනත් විකල්ප නොමැති තැන ඔහු ඩුබායි හි ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් උපකාර පැතුවේ ය.
ටීනා ද සිල්වා නම් වූ ඇය ක්‍රිෂ් ට උපකාර කිරීමට ඉදිරිපත් වූවා ය. එහෙත් සිතූ තරම් ඉක්මනින් යළි දියණිය වෙත පැමිනීමට ක්‍රිෂ් ට හැකියාව ලැබුණේ නැත. ඩුබායි පොලිසිය ඔහු ගේ සිර දඬුවම් කාලය දීර්ඝ කළේ ය.
එලීනා නිවෙසේ තබා රැකියාවට යාමට ටීනා ට ද හැකිවූයේ නැත. තමන්ට තමන් පමණක්ම ඉතිරි වන වියරු වැලි කතරේ එලීනා වෙනුවෙන් වෙන් කරන්නට තවත් කාලය නොවූ බැවින් ටීනා ඇයත් සමග ඩුබායි පොලිසිය වෙත ගියාය.
ඩුබායි පොලීසිය කවදත් තදින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් බවට ප්‍රසිද්ධය. එරට ශරියා නිතීය ද වඩාත් දැඩි මෙන්ම අමානුෂික යැයි සිතෙන තරම් ය. මේ අමානුෂික නීතිය ක්‍රියාත්මක කරන්නවුන්ට මානුෂිකත්වයට දීමට සිත්වල ඉඩකඩ ද නැති තරම් ය. එහෙත් ටීනා සමග පැමිණි පස් හැවිරිදි එලීනා දුටු ඩුබායි පොලිස් නිලධාරීහු තම සිත් තුළ සඟවා තිබූ මානුෂිකත්වය මඳකට ඉවතට ගත්හ.
ඩුබායි පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ප්‍රධානී කපිතාන් මොහොමඩ් භාගි අලෝලානි එලීනා ඩුබායි කාන්තා හා ළමා පදනම යටතට පත් කළේ ය. ඉන්පසු ඇය වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බැලුවේය. කළ යුත්තේ එකම දෙයකි. එනම් එලීනා සතුව මෙලොව සිටින ඇයට සෙනෙහස දක්වන එකම ඥාතියා වන ක්‍රිෂ් නිදහස් කිරීමය. එහෙත් ඩුබායි හි පෞද්ගලික බැංකුව ක්‍රිෂ් ගෙන් අයවිය යුතු මුදල් නොමැති ව ඔහු නිදහස් කිරීමට කිසිසේත් එකඟ වන්නේ නැත. එසේ නම් කළ යුත්තේ අදාළ මුදල බැංකුවට ගෙවා ක්‍රිෂ් නිදහස් කර ගැනීම ය.
ඩුබායි පොලිස් නිලධාරීහු ක්‍රියාත්මක වූහ. ඒ සොරකු අල්ලන්නට හෝ කිසිවකුට දඩුවම් කරන්නට හෝ නොව, ක්‍රිෂ් නිදහස් කිරීමට මුදල් එකතු කිරීමට ය. අවසන පොලිස් නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් අදාළ මුදල බැංකුවට ගෙවා දමනු ලැබීය. ශ්‍රී ලංකාවේ ක්‍රිෂ් ඩුබායි පොලිස් නිලධාරීන්ගේ මානුෂිකත්වය හමුවේ නිදහස ලැබුවේ ය.
ඉන් වඩාත් ප්‍රීතියට පත් වුයේ එලීනා ද ක්‍රිෂ් දැයි හරියටම කියන්නට නොහැකි ය. පියාත් දියණියත් එකිනෙකා වැළඳ ගත්හ. ඒ වන විට එකිනෙකා නොදැක ඔවුහු මාස ගණනක් ගෙවා දමා තිබුණි. සෙනෙහස දොරේ ගියේ ය. එහෙත් තවමත් සැනසුම එහි වූයේ නැත.
ඩුබායි නීතිය අනුව ක්‍රිෂ් ට තවදුරටත් එරට රැඳී සිටිමට අවස්ථාව ලැබුණේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීමට තරම් මුදලක් ඔහු සතු වූයේ ද නැත. අනික් අතට එලීනා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නීත්‍යනුකූල අවසරයක් ද නොවීය. ඒ එලීනා නිත්‍යනුකූලව ඔහුගේ දියණියක් නොවූ බැවිනි. ක්‍රිෂ් යළිත් අසරණ වූයේ ය.
යළිත් ඩුබායි පොලිසිය ඔහුගේ පිහිටට ආවේ ය. ක්‍රිෂ් ගේ ගුවන් ටිකට් පත් වෙනුවෙන් මුදල් එකතු කෙරිණි. ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් අබ්දුල් රහීම් ද සිද්ධියට මැදිහත් වෙමින් එලීනා ගේ ජීව විද්‍යාත්මක පියා ක්‍රිෂ් දැයි සනාථ කර ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ය. පරීක්ෂණයෙන් පිය දියණි සම්බන්ධය තහවුරු වූ බැවින් එලීනාට ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි විය.
එමිරේට්ස් හි ශර්ජා රෝහල පීරු කොන්සල් ජනරාල් කාර්යාල සේවකයෝ රෝහල් වාර්තා සටහන් ලබාගෙන එලීනාගේ ලියකියවිලි සම්පූර්ණ කර ඇයට නීත්‍යානුකූල භාවය ලබා දුන්හ. ඩුබායි පොලිස් නිලධාරීහු තවත් අමතර මුදලක් ක්‍රිෂ් අතට ලබා දුන්නේ ශ්‍රී ලංකාවට පැමිණි පසු ජීවිකාව සපුරා ගන්නා තෙක් දියණියට දුකක් නොදෙන්නටය.
ඩුබාහි හි ශ්‍රී ලංකා කොන්සල් ජනාරාල් කාර්යාලයෙන් අප දුරකථන ඇමතුමට පිළිතුරු දුන් නිලධාරිනියක් තහවුරු කර සිටියේ පසුගිය විසි නව වැනිදා එලිනා සිය පියාද සමග ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
ඊට ප්‍රථම ජනමාධ්‍ය වෙත අදහස් දැක් වූ ක්‍රිෂ් කියා සිටියේ ජීවත් වීමට එකම අරමුණක් තමා සතු වන බවත් ඒ දියණියට යහපත් අධ්‍යාපනයක් ලබා දීම පමණක් ම බවත් ය.
මේ මොහොත වන විට එලීනා අප්‍රමාණ පිය සෙනෙහස විඳිමින් ලංකාවේ කොහෝ තැනක දිවි ගෙවනවා විය යුතුය. ඇතැම් විට ඔවුන් තමා පිළිඹඳ ව ලියවෙන මේ පුවත් කියවනවා වන්නට ද පුළුවන.
සෙනෙහසින් නිම වෙන කතා ලිවීම පහසුය. කියවිම ද පහසුය. ඒ සෙනෙහසම සමස්තය මත කැටිවන බැවිනි. ලංකාවේ ඇතැම් පියවරු බිරිය සමගින් වන ආරවුලට තම දරුවන් එල්ලා මරන්නේ ය. දරුවන්ගේ ජීවත් වීමේ අයිතිය ද උදුරා ගනිමින් තම අන්තනොමතික තීරණයට අනුව දරුවන් ද රැගෙන ගං දියට පනින්නේ ය. එවන් වූ පියවරුද වෙසෙන රටකට, තමා කෙරෙහි නිත්‍යානුකූල අයිතිය ද නොවූ අවස්ථාවක තමා අත් නොහැර ගිය තම සැබෑ පියා සමග පා තැබූ එලීනා සැබවින්ම වාසනාවන්ත ය.
පිය දියණි සෙනෙහස හමුවේ මුදල දෙවැනි තැනට දමා මනුස්සකමට මුල් ගැන දුන් ඩුබායි පොලිස් නිලධාරීන් ගැන අසන්නට ලැබීමද වාසනාවක් මය.
ඛේදවාචක පමණක්ම අසන්නට ලැබෙන මෙවන් යුගයක සෙනෙහස සහ මනුස්සකම ගැන කියවෙන මෙවන් පුවත් ලියන්නට ලැබීම ද වාසනාවක් මය.
- ටිරෝනි වෑවලගේ
සිළුමිණ
lanka C news
No comments:
Post a Comment