‘පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද..’ එන මැතිවරණ පිටිය ගල උඩ සටනක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

‘පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද..’ එන මැතිවරණ පිටිය ගල උඩ සටනක්..?

මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ 58ක ජනතාව දැරූ දේශපාලන ස්ථාවරය ජයග‍්‍රහණය කරවීමට දිවි හිමියෙන් කැපවෙනවා
- දිනේෂ්,විමල්,වාසු,ගම්මන්පිල සපථ කරති.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඡුන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව අගමැතිධුරය ලබාගත් ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් ක‍්‍රියාත්මක වන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක ගොදුරක් බවට පත් කළ යුතු නැති බවත්, ඒම ජනතාව ජනවාරි 08 වැනිදා තෙක් දැරූ දේශාපාලන ස්ථාවරය ජයග‍්‍රහණය කරවීම පිණිස දිවිහිමියෙන් කැපවන බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ‘මහින්ද සමග රට දිනවීමට  ඔබ සූදානම්ද?’ යන මැයෙන් පැවති සුවිශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේද පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘පසුගිය ජනාධිපතිවරණ ජනවරම පදනම් කරගෙන ජනාධිපතිධුරයේ පමණක් වෙනසක් නොවී පාර්ලිමේන්තුවේද, අධිකරණයේද ඇතුළු රාජ්‍ය බලයට අයත් සෑම අංශයකම සම්පූර්ණ පරිවර්තනයක් සිදු වුණා. ඒක මොනතරම් විකෘති ක‍්‍රියාදාමයක්ද කියා අද වන විට පැහැදිළි වී තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදී තිබියදී මහජන සාමය පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අත්සන් 114ක් සහිත විශ්වාසභංගයක් අද කථානායකතුමන්ට භාරදී තිබෙනවා. එසේ මන්ත‍්‍රීවරුන් 114ක් එකී විශ්වාසභංගයට අත්සන් කර තිබීමෙන්ම පැහැදිලි වෙනවා, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව.

අගවිනිසුරුවරයා ඉවත් කිරීමට අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය පිළිබදවත් සදහන් කළ යුතුයි. වත්මන් ආණ්ඩුව පවසන්නේ ගෙවීගිය කාලය තුළ අගවිනිසුරුවරයකු නොසිටිය බවයි. ඒ ආකාරයට තමන්ට වාසි සහගත අර්ථකථන සිදු කරමින් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බලකේන්ද්‍ර තුනම අත්පත්කර ගැනීමට වත්මන් පාලකයන් කටයුතු කර තිබෙනවා. ඒ තුළින් විරුද්ධ පක්‍ෂය ඉතා ව්‍යාකූල තත්වයකට ඇද වට්ටවා තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා වුණාම, එම පක්‍ෂයේම   ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු විපක්ෂ නායක වුණාම එක්තරා ආකාරයක නිල නොවන ජාතික ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. මේක අප‍්‍රකාශිත ජාතික ආණ්ඩුවක්. 

ඒ අනුව තමයි, අය – වැයෙදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට පක්‍ෂව ඡුන්දය දීමට සිදුව තිබෙන්නේ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පක්‍ෂව ඡුන්දය දෙන්නේ, ජවිපෙ මන්ත‍්‍රීවරුන් පක්‍ෂව කතා කරලා ඡන්දය දීම මග හැර යන්නේ. ඒ අනුව අද අප ඇතුළු පාරිලිමේන්තුව නියෝජනය කරන  පක්‍ෂ කිහිපයක් හැරුනාම අනෙක් අය ’අප‍්‍රකාශිත ජාතික ආණ්ඩුවක කොටස්කරුවන් වී සිටිනවා. 

විධායක බලය අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටයි හිමි වන්නේ. ඔහු විසින් එම බලය අමාත්‍ය මණ්ඩලය මගින් ක‍්‍රියාත්මක කිරීමයි සිදු වන්නේ. නමුත් අද කැබිනට් මණ්ඩලයටත් ඉහළින් ජාතික විධායක සභාව නැමති ව්‍යුහයක් පිහිටුවා තිබෙනවා. එහි අනුර දිසානායක, ආර්. සම්බන්ධන්  වැනි අයත් සිටිනවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැති එවැනි ව්‍යුහයක් අද හදාගෙන තිබෙනවා. මේ අප‍්‍රකාශිත ජාතික ආණ්ඩුව අද කුමක් කරනවාද? නොකරනවාද? කියා  කාටවත් පැහැදිලි නැහැ. මේ තත්වය ඉතා භයානකයි.
ලක්‍ෂ 58කට ආසන්න ජනතාවක් පසුගිය ජනාධිපතිරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කළේ ජනවාරි 09 වැනිදා සිට ජාතික ආණ්ඩුවක සිරකරුවන් වීමට නොවෙයි. 

ඒ ලක්‍ෂ 58ක ජනතාවට කුමක්ද අද ලැබී ඇති නියෝජනය? ඊනියා ජාතික ආණ්ඩුවක හවුල්කරුවන් වීමට ඒ ලක්‍ෂ 58 සූදානම්ද? ඒ ලක්‍ෂ 58 ඉල්ලන්නේ තමන් එරෙහි වූ දේශපාලන බලවේග සම`ග එකට දීග කන්න කියලද? මේ බරපතල ප‍්‍රශ්න ටික අද ඒ ලක්‍ෂ 58ක ජනතාවට වගේම අපටත් තිබෙනවා. මේ ප‍්‍රශ්න පටලවා ගෙන කොහොමද ඉදිරි දේශපාලන අභියෝග ජයගන්නේ?

මහ මැතිවරණයට පසුවත් ජාතික ආණ්ඩුවක්

ඉදිරියේදී මහ මැතිවරණයක් එනවා. එජාපය කියන්නේ තමන් අලියාගෙන් තරග වදින බවයි. සන්ධානයත් වෙනම තරග කරන බව කියනවා. ඒ අනුව වැඩි මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් ගන්නා පක්‍ෂයට අගමැතිකමත්, දෙවැනියට මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් ගන්නා පක්‍ෂයට උප අගමැතිකමත් දෙන බව පැවසෙනවා. 

කැබිනට් මණ්ඩලයත් බෙද හදාගෙන එකට ආණ්ඩුවක් පිහිටුවනවලූ. ඒකට දෙමළ ජාතික සන්ධානය වැනි පක්‍ෂ එකතු වෙනවාද කීමට බැහැ.
කොහොම හරි ආයෙත් මහ මැතිවරණයක් පවත්වලාත් හදන්න යන්නේ ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් හදන්න නම් ඇයි වෙන වෙනම  ඡුන්දය ඉල්ලන්නේ? එහෙමනම් එකටම ඡුන්දය ඉල්ලලා එකටම ජාතික ආණ්ඩුවක්් පිහිටුවා ගන්න පුළුවන්නේ. 

මෙතැන තියෙන්නේ පැහැදිලිවම මේ රට අස්ථාවර කිරිමේ උවමනාවක්. එහෙම නැතිනම් බටහිර රටවල උවමනාව අනුව මේ රට යන ගමන කණපිට හැරවීමේ උත්සාහයක්. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට අනුව මේ රට යන ගමන වෙනස් කිරිමේ, ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදීමේ උත්සාහයක්. මේ සියලූ උවමනාවන් ඉටු කරන ජාතික ආණ්ඩුවක් තමයි හදන්න යන්නේ. ඒකත් එක්ක එක`ග වෙන්න අපට බැහැ.

ඒ නිසා අපි විශ්වාස කරනවා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවාරි 08 වැනිදා වනතෙක් දරපු දේශපාලන ස්ථාවරයට, ලක්‍ෂ 58 ජනතාව සහභාගී වූ ගමනට නැවත පණ පොවන්න  ඕනෙ කියලා. ඒ ගමන නැවත ආරම්භ කරන්න  ඕනෙ. ඒ බලවේගය ජයග‍්‍රාහී මාවතට අරගෙන එන්න  ඕනෙ. ඒ බලවේගය අසරණ කිරීම වැරදියි. ඔවුන් උත්තර නැති ප‍්‍රශ්න ගොඩක හිරකරුවෝ කරන එක වැරදියි. 

ඒ ලක්‍ෂ 58ක ජනතාව මේ ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් ක‍්‍රියාත්මක වන බලෙන් අගමැතිකම ගත්තු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක ගොදුරක් බවට පත් කළ යුතු නැහැ. අද වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා අපි නුදුරේදීම ලැබෙන දේශපාලන අභියෝගය ජයගත යුතුයි. ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂය තමයි ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති අපේක්ෂකයා ලෙස පැමිණීම’ ඒක බිම් මට්ටමෙන් පැමිණ තිබෙන මතයක්. 

සිල්ලරට, තොග ගණනට කොපමණ මඩ ගැහුවත් ඒ ලක්‍ෂ 58ක  ජනතාව තමන්ගේ ඒ අභිලාෂය අත්හැර නැහැ. මේ ජනතා අභිලාෂයට ඇහුම්කන් දීලා, ඒ පිරිස අතරමං නොකර ඔවුන්ගේ අභිලාෂය ජයග‍්‍රහණය කරවිය හැකි දේශපාලන ගමනකට විපක්ෂය දැන් සූදානම් විය යුතුයි. එහෙම නොවුණොත් ඒ ලක්‍ෂ 58ක ජනතාව විශාල දේශපාලන ඛේදවාචකයක ගොදුරු බවට පත් වෙනවා.

‘රිද්දන්න ගහපු කතිරය’

අද ජාතික ආරක්ෂාව පිළිබද දැවැන්ත අභියෝග මතු වී තිබෙනවා. ඒ වගේම ආර්ථික ක්‍ෂේත‍්‍රය තුළ ගෙන ඇති ඇතැම් අමන තීරණ නිසා නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ විශාල කඩා වැටීම් සිදු වෙමින් තිබෙනවා. කොටස් වෙළදපොළ දිනෙන් දින කඩා වැටෙනවා. 

අතුරු අයවැයෙන් ගහපු ඇතැම් ‘ත‍්‍රස්ත බදු’ නිසා ඇතැම් කර්මාන්තශාලා වසා දමන්න සිදු වෙලා තිබෙනවා. මෙවැනි විශාල ව්‍යාකූලතාවක් අද ලාංකීය සමාජය තුළ පතිත වෙලා තිබෙනවා. හංසයාට කතිරය ගහපු පිරිස් ඒ පිළිබදව අද කම්පනයට පත් වී සිටිනවා. ‘රිද්දන්න කතිරය ගැහුවා.

ඒත් දැන් අපටම රිදිලා තියෙනවා නේද? කියලා හිතන තත්වයට ඒ අය අද පත්වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස වාහන ආනයනය කරන සමාගම්වල හිමිකරුවන්. ඒ අය බොහෝමයක් හිටියේ වෙනසක් කරන්න ආපු හංසයා  පිටුපස්සේ. ඔවුන් දැන් ඔළුවට අත ගහගෙන, මේ ගහපු ‘ත‍්‍රස්ත ටැක්ස්වලින්’ බේරෙන්න උසාවි යන්න හදනවා.

මේ ඇති වන තත්වය තේරුම් අරගෙන ලක්‍ෂ 58ක ජනතාවට සහ ඒ වටා එක්රොක් වන වෙනත් බලසම්පන්න ජනතා බලවේගවලට නායකත්වය දිය හැකි දේශපාලන ක‍්‍රියාදාමයකට අපි අවතීර්ණ විය යුතුයි. එහෙම නැතිව විපක්ෂ බලවේග, නොනිල ජාතික ආණ්ඩුවක හිරකාරයන් බවට පත් වුණොත් එය, අර ලක්‍ෂ 58 ජනතාව ඉතාමත් අසරණ ඉරණමකට ඇද වැට්ටවීමක් වෙනවා.

‘අපු ගමනේ දුබලතා හදුනාගෙන, ඒවා නිවැරදි කරගෙන, මහජනයාගේ සංවේදී දැක්ම තේරුම් අරගෙන, විය යුතු සාධාරණ වෙනස්කම් කරලා මේ ලක්‍ෂ 58 ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණය ලබාගත හැකි අපේක්‍ෂකයකු සමග ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට සූදානම් විය යුතුයි’ කියන මතයේ අපි ඉන්නේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ 04ක මතය වන්නේ, ඊනියා ජාතික ආණ්ඩුවක කටු සූප්පු කරන මගක් වෙනුවට, ඉහත කී ආකාරයේ මහ මැතිවරණය දිනන මගකට මේ රට රැගෙන යන්න  ඕනෙ කියන එකයි. කොයිතරම් දුෂ්කර වුවත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමට අපි සූදානම්.

ඒ වෙනුවෙන් නුගේගොඩ නගරයේදී පෙබරවාරි 18 වැනිදා පවත්වන ජාතික රැලියට අප පක්‍ෂ 04,  සන්ධානයේ සියලූම හවුල්කාර පක්‍ෂවල නායකයන්ට විවෘත ආරාධනාවක් සිදු කරනවා. ඒ වේදිකාව අපි කාටත් අයිති වේදිකාව, ‘දිනන මගකට ලක්ෂ 58ක ජනතාව රැගෙන යන්නේ කොහොමද? ’ කියලා කතා කරන වේදිකාව, ‘දිනාගත් සාමය හා සුරක්ෂිතභාවය ආරක්‍ෂාකරගෙන රට නිවැරදිව පෙරට ගෙන යන්නේ කොහොමද?’ කියලා කතා කරන වේදිකාව. 

ඉතිං අපි ලක්වැසි සිංහල, දෙමළ මුස්ලිම්, සියලූ ජනී ජනයාට පෙබරවාරි 18 වැනිදා සවස 3.00ට නුගේගොඩ ජාතික රැලියට සහභාගී වෙන්න කියන ආරාධනයත්  මේ මෙහොතෙදි සිදු කරනවා’’

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී  උදය ගම්මන්පිල මහතා

‘පසුගිය ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වුණා නම් සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉන්න පාර්ශ්වකරුවන් මහ මැතිවරණයේදීත් ඉල්ලන්නේ එකට. ජනාධිපතිවරණයේදී හංසයා වටා එක්වුණුු බලවේග එහෙම එකතු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ඉල්ලන්නේ අලියාගෙන්. 

ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලන්නේ වෙනම. දෙමළ සන්ධානය ඉල්ලන්නේ වෙනම. එහෙම වුණානම් සන්ධානය ආසන 111ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප‍්‍රමාණයක් ලබා ගන්නවා.
ප‍්‍රාදේශීය දේශපාලකයන්ට තියෙන කලකිරිම පෙන්විමට හංසයාට කතිරය ගහපු අය අද හඩා වැටෙනවා. 

පසුගිය දිනවල යහපාලන භීෂණය නිසා යහපාලනය පිළිබද සිහිනය බොද වුණු බොහෝ දෙනකු අද ඒ ගැන කලකිරිලා තියෙනවා. සමහරු අප්පචිචි මළා කියලා අනිත් පිලට ගියා. ඒ නිසා බුලත් කොළයට කතිරය ගහපු ලක්‍ෂ 58ක ජනතාව අනාථ වෙලා. නමුත් ඔබ අනාථ නැහැ. වීරයා ජනතාවගේ හදවත් තුළ ඉන්නවා. ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්. 

පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානයේ ජය මව්බිමට තීරණාත්මකයි. අද රට පාලනය කරන්නේ මෛතී‍්‍ර, රනිල්, අනුර, පාඨලී සම්බන්ධන් හවුල විසිනුයි. මේ හවුල පරාජය කර සන්ධානය ජයග‍්‍රාහී මාවත වෙත ගෙන ආ යුතුයි.

නීතිඥවරුන්ගේ උද්ඝෝෂණවලට ඇහුම්කන් දීමේ ප‍්‍රතිඵලයක් විදියට, නීිතිඥවරු අගමැතිවරයාත් සමග පවත්වපු සාකචිඡවකදී ගත්තු තිරණවල ප‍්‍රතිඵලයක් විදියට අගවිනිසුරු ගෙදර යවලා තියෙනවා. මොකක්ද මේකෙන් පස්සේ වුණේ? අද නීතිඥයන් උසාවිය ඇතුලේ ත‍්‍රස්තකි‍්‍රයා සිදුකරන අය බවට පත්වෙලා තියෙනවා. 

කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියේ අංක පහේ මහේස්ත‍්‍රාත්වරයා නඩු අහන එක නතර කරවලා  තම අසුනෙන් නැගිට්ටවලා යවන තරමට නීතිඥ කල්ලි සාහසික තත්වයට පත්වෙලා තියෙනවා.

ඒ වගේම අල්ලස් හා දුෂණ කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීම පිළිබද ක‍්‍රමවේදය වන්නේ විනිසුරුවරයකු ඉවත් කිරීම සම්බන්ධ ක‍්‍රමවේදයමයි. අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපතිතුමාට හෝ  සාමාජිකයකුට කිසියම් චෝදනාවක් තියෙනවානම් එය ඉදිරිපත් කළ යුත්තේ පාර්ලිමේන්තුවටයි. 

හැබැයි අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කරලා අගවිනිසුරු ඉවත් කළ ක‍්‍රමයටම අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපතිවරයාත් ඉවත් කිරීමට උත්සාහයක් තියෙනවා. මෙයින් සිද්ධ වන්නේ අධිකරණය පිළිබද සමාජයේ තියෙන ගෞරවය නැති වීමයි, අධිකරණයේ ස්වාධීනත්වය නැති වීමයි. 

අද විනිසුරුවරයකුට  ස්වාධීනව තීනදුවක් ගන්න බැහැ. රටේ ප‍්‍රබල නීිතිඥයකු නැතිනම් නිතිඥ සංගමයක සාමාජිකයකු තමන් ඉදිරියට ඇවිල්ලා ඇප ඉලලූ විට ඔහුට ඇප ප‍්‍රතික්ෂේප කිරීමේ දෙගිඩියාවක් ඇතිවෙනවා. මට විරුද්ධවත් උද්ඝෝෂණ කරලා මේ අය මා ඉවත්කරාවිද යන බිය විනිශ්චකාරවරයාගේ සිතට ඇතුළු වුණොත් ඔහුට ස්වාධීනව තීන්දු ගන්න බැරිවෙනවා. 

ඒ නිසා අධිකරණ ක්‍ෂේත‍්‍රයේ මේ ඇතිකරනු ලබන හීෂණය, රට පුරා ජනතාවට ගහමින්, පෙලමින් කරනු ලබන හීෂණයට වඩා මව්බිමට අනතුරක්. ඒ වගේම අද රට පුරා පැතිර යන හීෂණයට ප‍්‍රතිචාරයක් විදිහට එක්සත් ජනතා නිදහස් සන්ධානය විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් තියෙනවා ජෝන් අමරතුංග මහතාට එරෙහිව. 

කොහොම නමුත් වර්තමාන අගමැතිතුමා කියලා තියෙනවා විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙන ගියොත් අපි පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට  කටයුතු කරනවා කියලා. මොකක්ද මේ තර්ජනයේ යටි අරමුණ? මේ අය නවක මන්තී‍්‍රවරුන්ට අනතුරු අගවනවා, ‘ඔබ විශ්වාසභංගයට අත ඉස්සුවොත් විශ‍්‍රාම වැටුප ලබන්නට වසර 5 සම්පූර්ණ වීමට කලින් අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා’ කියලා. 

ඒ නිසා මේ හීෂණයට නායකත්වය දෙන ජෝන් අමරතුංග මැතිතුමා බේරලා දෙන්න කියන තර්ජනය කිරීම තමයි මෙහි යටි අරමුණ. මේ භීෂණය, තර්ජනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඉඩ නොදී සන්ධානය ජයග‍්‍රහණය කළ හැකි තැනකට යළි ගෙන එන්න, මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන ජනතා අපේක්ෂාව මුළු ලෝකයටම පෙන්නා දෙන්න අපි 18 වැනිදා නුගේගොඩදී හමුවෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඔබ ඇත්තටම මව්බිමට ආදරය නම් 18 වැනිදා සවස තුනට සිටිය යුතු එකම ස්ථානය නුගේගොඩ හන්දියයි.’

– අනුරුද්ධ බණ්ඩාර

dhfgjfg

No comments:

Post a Comment

Post Bottom Ad