ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ජනප්‍රිය ඉසව්ව වන ලෝක කුසලාන තරගාවලිය කෙමෙන් කෙමෙන් ළඟාවෙද්දී ඊට සූදානම් වන කණ්ඩායම් කිහිපයකම වෙනස්කම් දැන් සිටම සිදුවෙමින් පවතී.
එංගලන්තය, ඇලස්ටෙයාර් කුක් ඔවුන්ගේ එක්දින ක්‍රිකට් නායකත්වයෙන් පහකර ඔයින් මෝගන් නායකයා ලෙස නම්කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිල ඩ්වේන් බ්‍රාවෝ නායකත්වයෙන් ඉවත් කර ජේසන් හෝල්ඩර් කණ්ඩායමේ එක්දින ක්‍රිකට් නායකයා ලෙස පත්කර තිබේ.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමෙන් සමුගන්නා බව ෂහිඩ් අෆ්රිඩි පවසයි. කෙසේ වෙතත් තමා තවදුරටත් විස්සයි20 ක්‍රීඩාවේ රැඳී සිටින බව පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයා ප්‍රකාශ කරයි.
කුක් එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම නිසා වැඩිම වාසියක් ලැබී තිබෙන්නේ ගැරී බැලන්ස් ට ය. ඒ, ඔහු එංගලන්ත ලෝක කුසලාන සංචිතයට නම්කර ඇති හෙයිනි.
මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ කණ්ඩායමේ සිටි බෙන් ස්ටෝක්ස් හා හැරී ගර්නි ට ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙන අතර ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් ආබාධවලින් පසුව යළි කණ්ඩායමට එක්ව සිටිති.
කුක් ට අමතරව කණ්ඩායමේ ප්‍රධානතම වෙනස්කම වී ඇත්තේ බෙන් ස්ටෝක්ස් ඉවත් කිරීමය. ඩැරන් සැමී වෙනුවට 2013 වසරේ මැයි මාසයේදී කොදෙව් එක්දින ක්‍රිකට් නායකත්වයට පත්වූ බ්‍රාවෝ, ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ඇරැඹෙන තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කර තිබේ.
බ්‍රාවෝ ට අමතරව සැමී හා කීරන් පොලාඩ් ට ද සංචිතයේ ස්ථාන අහිමිව තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව 2013 පෙබරවාරියේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමට පිවිසි 23 හැවිරිදි හෝල්ඩර්, තරග 21කට ක්‍රීඩා කරමින් සිය වේග පන්දුවලින් 28.65ක සාමාන්‍යයකින් යුතුව කඩුලු 29ක් ලබා ගෙන සිටී.
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පවසන ෂහිඩ් අෆ්රිඩි, එහෙත් තමා පාකිස්තාන නායකත්වය දරණ විස්සයි20 ක්‍රීඩාවේ තවදුරටත් රැඳී සිටින බවත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2016 විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීම තම ප්‍රධාන අරමුණ බවත් ප්‍රකාශ කර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ 35 වැනි වියට පා තබන අෆ්රිඩි, 1996 වසරේ ඔක්තෝබරයේ ශ්‍රී ලංකාවට එරෙහිව නයිරෝබිහිදී සිය මංගල ඉනිමේදී වේගවත්ම ශතකය වාර්තා කිරීමෙන් පසුව මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 389කට ක්‍රීඩා කර තිබේ.
මේ වසරේ ජනවාරියේදී නවසිලන්තයේ කොරී ඇන්ඩර්සන් ශිල්ප දක්වන තෙක්ම වසර 17කට වැඩි කාලයක් එම වාර්තාව පැවැතිණි. අෆ්රිඩි 23.49ක සාමාන්‍යයකින් යුතුව එක්දින ක්‍රිකට් ලකුණු 7870ක්ද, කඩුලු 391ක්ද ලබා ගැනීමට සමත්ව තිබේ.
එංගලන්ත ලෝක කුසලාන සංචිතය: ඔයින් මෝගන් (නායක), මොයීන් අලි, ජේම්ස් ඇන්ඩර්සන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවි බොපාරා, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජොස් බට්ලර්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩ්න්, ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජේම්ස් ට්‍රෙඩ්වෙල්, ක්‍රිස් වෝක්ස්.
වර්නන් ගුණසේකර
Monday, December 22, 2014

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ළංවෙද්දී කණ්ඩායම් කිහිපයක මුහුණුවර වෙනස් වෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment