ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රත්කළ චාලි ඔස්ටින් ගැන හා ක‍්‍රිකට් අනාගතය ගැන මහේළ හෙළිකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රත්කළ චාලි ඔස්ටින් ගැන හා ක‍්‍රිකට් අනාගතය ගැන මහේළ හෙළිකරයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවට පරාජයන්ට හේතු වෙන මගකට ක්‍රීඩාව යොමු කිරීමේ උත්සාහයක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු ඒ බව කියා සිටියේ සිම්බාබ්වේ සමග පැවති එක් දින තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම ගැන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

“අවුරුදු 2කට කළිනුත් කිව්වා, 10කට කළිනුත් කිව්වා ක්‍රිකට් ඉදිරියට ගන්න නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් ඇති කළ යුතුයි, අපිට තියෙන්නේ ක්‍රිකට් ප්‍රශ්න, ඒවාටයි පිළියම් යොදන්න ඕනේ”
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන ක්‍රීඩා සමාජ තරගවලට අමතරව ශක්තිමත් පළමු පෙළ තරගාවලියක අවශ්‍යතාව මතු කර තිබේ. ශ්‍රී ලංකාවේ මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම 23 ක් කාණ්ඩ දෙකකින් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා සමාජවල ඡන්ද බලාපොරොත්තුවෙන් එවන් තත්ත්වයක් ඇති කර ඇති බවට ක්‍රීඩා විචාරකයෝ චෝදනා කරති.

“මෙහෙම වුණාම ක්‍රීඩකයන් බෙදිලා යනවා, අපි සෙල්ලම් කරන්නේ හොඳ තරග නෙවෙයි, අපි හොඳම ක්‍රීඩකයෝ ටික එකතුකරගෙන සෙල්ලම් කරන්න ඕනේ” පසුගිය කාලයේ ක්‍රීඩා සමාජවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමේ දස්කම් නොදක්වන්නේ ඒ හේතුවෙන් බව ද මහේල ජයවර්ධන පෙන්වා දෙයි. 2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව එක්දින තරගවලදී ක්‍රීඩකයන් 42 දෙනෙකුට වඩා යොදා ගෙන ඇති අතර මෙම තත්වය යහපත් එකක් නොවන බව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධනට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් ද පවසා තිබේ.

මෙවර සිම්බාබ්වේ තරගාවලියේ ද කණ්ඩායමේ නිතර වෙනස්කම් සිදු වූ අතර නවක ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට එක් කරනු ලැබුණි. පළමු පෙළ ක්‍රීඩකයන්ට නිසි ලෙස ගෙවීම් නොකිරිම, නිසි පහසුකම් නොමැතිවීම වැනි කරුණු ගණනාවක් ද වර්තමානයේ ඇතිවී තිබෙන ක්‍රිකට් පසුබෑමට හේතුවී ඇති බව මහේල ජයවර්ධන පැවසීය. මේ අතර හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකගේ පුද්ගලික කළමනාකරුවකුවන චාලි ඔස්ටින් ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් විනාශයට වගකිවයුතු බවට ප්‍රකාශයක් කළේය. ඒ සමග සමාජ මාධ්‍ය තුළ ද ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරුවන් ගැන විවේචනාත්මක අදහස් පළවිය.

මෙම කළමනාකරුවන් කණ්ඩායමේ තේරීම්වලට බලපෑම් කරන බවට ද චෝදනා එල්ලවිය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර , ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරන්නේ චාලි ඔස්ටින් වන අතර තරුණ ක්‍රීඩකයන් රැසක් ද ඔහුගේ සේවය ලබාගෙන තිබේ. චාලි ඔස්ටින්ට අමතරව, රොබ් ආශ්වෙල්, රවී ද සිල්වා, අසංක විජේවර්ධන යන අය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරුවන් ලෙස කටයුතු කරති. “මගේ ක්‍රිකට්වලට අමතරව මගේ තියෙන අනිත් වැඩවලට මම කෙනෙක් පත්කරගන්නවා, එහෙම නැතුව අපි කවුරුත් චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ”

“ඒක නිකන් මම සාමාන්‍යයෙන් රියදුරෙක් ගන්නවා වගේ මගේ වැඩ කරන්න” යනුවෙන් මහේල ජයවර්ධන සිය කළමනාකරුට එල්ලවී ඇති චෝදනා ගැන අදහස් පළ කළේය. ක්‍රිකට් තේරීම් කමිටුවක් තිබිය දී ක්‍රීඩකයන්ගේ තේරීම්වලට පුද්ගලික කළමනාකරුවන් සම්බන්ධ වන්නේ කෙසේදැයි තමන්ට සිතාගත නොහැකි බව ප්‍රකාශ කළ මහේල ජයවර්ධන කෙසේ වුවත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙන් ඔවුන් යම් රෙගුලාසිවලට යටත්විය යුතු බව පිළිගත්තේය. 

“ඔවුන් ගැන හොයල බලලා පාලනයක් ගේන එක හොඳයි” “ඒ පාලනය කළමනාකරුවන්ට විතරක් නෙවෙයි ක්‍රිකට් බලධාරීන්ටත්, දේශපාලනයටත් පොදු වෙන්න ඕනේ, මම වගකීමෙන් කියනවා මම නායකත්වය දරද්දී 2006 එංගලන්තයේදී ඊට පස්සේ අතිරේක ක්‍රීඩකයෙක් එවනවා ක්‍රීඩා ඇමතිතුමා මේ ක්‍රීඩකයවත් ගන්න කියලා, ඒවත් බලපෑම්, ඒවත් පාලනය විය යුතුයි” 2006 වසරේ එංගලන්ත සංචාරය අතරතුර හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය තරගාවලිය මැදදී එලෙස කණ්ඩායමට එක් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad