ජවිපෙ මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ගෙනත්.. රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන

අම්පාර, මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් පසුගිය මැයි පළමු වැනිදා කොළඹ බී.ආර්.සී පිටියේ පැවැති මැයි රැලියකට පාසල් සිසුන් තිස්දෙනෙකු සහභාගි කරවීම පිළිබඳව මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම මැයි රැලියට සහභාගි වූ දරුවෙකුගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.බී. ධර්මදාස මහතා මේ පිළිබඳ සොයාබලා තිබේ. එහිදී පාසලේ ගුරුවරයෙකු විසින් තමන්ව මැයි රැලියට අරගෙන ගිය බවට සිසුන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව සාක්‍ෂි ලබාදී තිබේ. අදාළ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියක විසින් තමන් රැගෙන ගිය බවට මෙම රැලියට සහභාගි වූ සිසුසිසුවියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාට ලබාදෙන ලද ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම මැයි රැලියට සහභාගි වූ දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන තිබේ. 

එම සිසුන් පිරිස පසුගිය අප්‍රේල් 30 වැනිදා පස්වරුවේ වරාපිටිය සිට කොළඹ බලා පිටත්ව ගොස් ඇති අතර, එදින අලුයම කොළඹට ළඟාවීමෙන් අනතුරුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබේ. අප මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයීය විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, පාසලේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා අතර, මේ පිළිබඳව සියලු තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන් බවයි.

පසුව මේ සම්බන්ධයෙන් අප මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.බී. ධර්මදාස මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ, දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ පිළිබඳ පරීක්‍ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ විදුහලේ ගුරුවරයෙකු තමන්ට පහරදීමට පැමිණි බවත්, තමන් ඒ සම්බන්ධයෙන් සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත්ය. මේ පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ, මේ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු පත්කර දැනට පරීක්‍ෂණයක් කර ඇති බවත්, එම වාර්තාව ලැබුණු පසු මේ පිළිබඳ විනයානුකූල පියවරක් ගන්නා බවත්ය.

breakingnews.lk

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment