දඟ පන්දු යවන්නන්ගේ පාරාදිසයක් වූ ගාලු තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස සැකසුවේ කාගේ වුවමනාවටද? රංගන හේරත් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

දඟ පන්දු යවන්නන්ගේ පාරාදිසයක් වූ ගාලු තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස සැකසුවේ කාගේ වුවමනාවටද? රංගන හේරත් කතා කරයි

ටෙස්‌ට්‌ තරගවලදී ගාලු තණතීරුව යනු දඟ පන්දු යවන්නන්ගේ පාරාදිසියකි. නමුත් ඉන්දියාව සමඟ තරගයේදී පිතිකරුවන්ගේ මනදොළ පිනවන ලෙස එය සකස්‌ කිරීම ඇතමෙකුට ප්‍රශ්නකාරී විය. නමුත් ඒ පිළිබඳව තරගයේ නායකයා වූ රංගන හේරත් පවසන්නේ වෙනම කතාවකි.

“ඇත්තටම අපි දන්නවා ගාලු තණතීරුව කියන්නෙ දඟ කැවෙන තණතීරුවක්‌ කියලා. අපි පල්ලකැලේට හෝ සරා එකට යනකොට ඒක ටිකක්‌ වේග පන්දු යවන්නන්ට හොඳයි කියල දන්නවා. මේ තණතීරුව අපි පිතිකරුවන්ට උචිත විදිහට හැදුවේ පුහුණුකරුවන් සහ අනිත් හැම දෙනා සමඟ සාකච්ඡා කරලා. නමුත් අවාසනාවකට අපේ පිතිකරුවන් එතනදී ප්‍රයෝජනය ගත්තේ නැහැ. ඒ නිසා තණතීරුවේ තත්ත්වය ගැන කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ.”

ගාලු තණතීරුව දඟ නොකැවුණද ඉන්දියානු පන්දු යවන්නන් හොඳින් සිය තරගකාරීත්වය පෙන්නුම් කළ බවත් හේරත් පවසයි., “මම මුලින්ම ගාලු තණතීරුව පිතිකරුවන්ට උචිත බව කිව්වා. තරගයේ තෙවැනි සහ සිව්වැනි දිනයේදී එතරම් දඟ කැවීමක්‌ දැක්‌කේ නැහැ. නමුත් ඉන්දියානු දඟ පන්දු යවන්නන්ට කඩුලු ගොඩක්‌ ගන්න බැරි වුණත් ඔවුන් හොඳ තර්ජනයක්‌ අපේ පිතිකරුවන්ට යොමු කළා. පිතිකරුවන් වශයෙන් අපි දැන ගන්න ඕන දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න ඕන මොන වගේද කියලා.”

“නිසැක වශයෙන්ම පිතිකරණය, පන්දු යෑවීම සහ පන්දු රැකීම තුනම අපේ නැවත වරක්‌ අසාර්ථක වුණා. අපේ කණ්‌ඩායම මීට වඩා ලොකු හැකියාවක්‌ තියෙන කණ්‌ඩායමක්‌. අපි බලන්න ඕන ඒ හැකියාව කොහොමද ඉදිරියට ගේන්න ඕන කියලා. ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමඟ ඒ ගැන කතා කරන්න වෙනවා. අපි කරපු හැම සැලැස්‌මක්‌ම හරිගියේ නැත්තේ නැහැ. සමහර සැලැස්‌මවල් හරි ගියත් සියයට සියයක්‌ හරි ගියේ නැහැ.” යෑයි හේරත් පවසයි.

තරගය පරාජය වුවත් වේග පන්දු යවන්නකු ලෙස නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාරගේ දක්‍ෂතාව පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවත් හේරත් පවසයි. ‘අපිට මේ තරගයේ සතුටු වෙන්න තියෙන්නෙ නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර පන්දු යෑවූ ආකාරය ගැන විතරයි. මම හිතන විදිහට 2005 න් පස්‌සේ වේග පන්දු යවන්නෙක්‌ කඩුලු පහක්‌ දවාගෙන තියෙනවා. නුවන් ප්‍රදීප් කළ ඒ දස්‌කම ගැන විශේෂයෙන් සතුටු වෙන්න ඕන. මොකද වෙනදට දඟ පන්දු යවන්නන් තමයි කඩුලු ලබා ගන්නේ.”

No comments:

Post a Comment

Post Bottom Ad