කාලගුණයේ ලොකු වෙනසක් - අදත් තද වැසි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

කාලගුණයේ ලොකු වෙනසක් - අදත් තද වැසි 

කාලගුණයේ ලොකු වෙනසක් - අදත් තද වැසි 
වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී දිවයිනේ අතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ ස්ථාපිත වී පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 

එය තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතනයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් කරමින් දිවයිනට ආසන්නව ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මේ හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං කාලගුණය තවදුරටත් බලාපොරොත්තු වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 

මේ අතර විශේෂයෙන් දකුණු සහ නැගෙනහිර ඇතුලු දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අඩු පීඩන කලාපය හා සබැඳිව පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යාමේ ඉඩක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු විමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 
ගත වු පැය 24ක කාලය තුළ දී ද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසී වාර්තා වී ඇත. වැසි පවතින අවස්ථාවල දී සිදුවිය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad