ඇඹිලිපිටිය පොලීසියේ 12කට චෝදනා  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

ඇඹිලිපිටිය පොලීසියේ 12කට චෝදනා 

ඇඹිලිපිටියේ දී සාදයක් අතරතුර පොලීසිය සමග ඇති වූ ගැටුමකින් පසු ව සුමිත් ප්‍රසන්න නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට චෝදනා පත්‍ර ගොනුකර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව එලෙස චෝදනා පත්‍ර ගොනුකර ඇති බව එම කොමිසම සඳහන් කරයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ කමිටුව එම චෝදනා පත්‍ර සකස් කර තිබේ.

ඉකුත් ජනවාරි 07 වැනි දා ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලීසිය සමග ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මිය ගියේ ය. එම සිද්ධියට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.සී.ධර්මරත්න මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ව සිටී.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ ද මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. මේ අතර අධිකරණ නියෝගයකට අනුව සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර මාර්තු මස 15 වැනි දා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේ යළි ගොඩගනු ලැබී ය.

No comments:

Post a Comment

Post Bottom Ad