වැටුප් වැඩිවීමක් ඉල්ලා වතු කම්කරුවන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

වැටුප් වැඩිවීමක් ඉල්ලා වතු කම්කරුවන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක

තේ වතු ආශ‍්‍රිතව වැඩකරන වතු කම්කරුවන් රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා අද (06) සිට සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතා විසින් එම පක්ෂයේ සාමාජිකයන් වෙත ලබා දුන් නියෝගයක් මත වතු කම්කරුවන් අද සිට වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භකර තිබේ.

වතුකම්කරුවන් මූලික වැටුප ඇතුලු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර අවස්ථා 4 ක දී පැවති සාකච්ඡා අසාර්ථකවීමත් සමගම වතු වෘත්තීය සමිති මෙම සෙමෙන් වැඩකිරීමේ ක‍්‍රියාමාර්ගයට එළඹ ඇත. 

ලෝක වෙළෙඳපොලේ තේ අපනයනය කරන තවත් රටවල් කීපයක් සමග ශ‍්‍රී ලංකාවේ තේ වලට තිබෙන තරගකාරී තත්ත්වය හා තේ මිළ ඉහළ නොයෑම වතු ආශ‍්‍රිතව වතුකම්කරුවන් කාර්යක්ෂමව වැඩ නොකීරීම හා තේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන නිෂ්පාදන මිළ ඉහළයෑම හේතුවෙන් තේ කර්මාන්තය කඩා නොවැටී තව දුරටත් පවත්වාගෙන යෑම සඳහා වතු කම්කරුවන්ට සතියකට දින 5 ක් දැනට ගෙවන රුපියල් 485ක මූලික වැටුප රුපියල් 550 දක්වා වැඩිකිරීමට වතු සමාගම් එකගවී සිටි අතර සතියේ සෙසු දිනවලට අමතරව නෙළන තේ දළු කිලෝවකට දැනට ගෙවන රුපියල් 25ක මුදල රුපියල් 40 දක්වා වැඩිකිරීමටත්, මූලික වැටුපට අනෙකුත් දීමනා ගෙවීමටත් වතු හා ම්පුතුන්ගේ සංගමය යෝජනාකර ඇත.

මෙම යෝජනා නොපිළිගත් වතු ඒකාබද්ධ වෘත්තීය සමිති යෝජනා කර සිටින්නේ රුපියල් 1000 මූලික දෛනික වැටුපක් ලැබිය යුතු බවයි. එම වැටුප ලබාදෙනතෙක් දැනට මෙම සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සිදුකරන බවත් ඉදිරියේදී මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය දැඩිව ක‍්‍රියාත්මක කරන බවත් ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.

දිනක මූලික වැටුප සඳහා තේ දළු නෙළන්නියක් අමු තේ දළු කිලෝ 15-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු අතර මෙම සෙමෙන් වැඩකිරී මේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් වතු කම්කරුවෙක් පැය 8 ටම අමුතේ දළු කිලෝ 3 ක් පමණක් නෙළිම සිදු කිරීමට තීරණය කර ඇත. 
මෙම සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් තේ වතු සමාගම්වලට තවත් පාඩු සිදුවන බව වතු අධිකාරීවරුන් පවසති.

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad