'පිරිසිදු එජාපයෙන්' බැඳුම්කර සුදාලාට නාමයෝජනා ලැබෙයිද? - ජානිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

'පිරිසිදු එජාපයෙන්' බැඳුම්කර සුදාලාට නාමයෝජනා ලැබෙයිද? - ජානිපෙ

ඔවුන්ම හඳුන්වා ගන්නා පරිදි දැන් ඇත්තේ ‘පිරිසිදු එජාපයක්’ බැවින් එම පක්‍ෂයෙන් බැඳුම්කර වංචා ඇතුළු විවිධ වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එජාප නායකයන්ට නාමයෝජනා ලබානොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ අද(07) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද පැවසුවේය.  

“මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී හොඳ පිළිතුරක් ලබාදේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විපක්‍ෂ දේශපාලනඥයන් දඩයම් කරමින් වත්මන් ආණ්ඩුවේ කප්පිත්තා ඇතුළු පිරිස සිදු කළ මහබැංකු බැඳුම්කර වංචාවේ සිට සියලූ වංචා පිළිබඳව අකුරටම නීතිය ක‍්‍රියාවේ යෙදවීමට අපි අගෝස්තු 17 වැනිදායින් පසුව කටයුතු කරන බවට ජනතාවට සහතිකයක් දෙනවා. 

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා, එජාපයට හිතවත් කලාකරුවෝ ඇතුළු පිරිස් පසුගිය කාලයේ විශාල හඩක් නැගුවා, යහපාලනය පිළිබඳව. මේ අය කියන විදියට අද තියෙන්නේ බොහොම හොඳ එක්සත් ජාතික පක්‍ෂයක්. 

අපි මේ පිරිසිදු එක්සත් ජාතික පක්‍ෂයෙන් බලාපොරොත්තු වෙනවා, කෝටි 5400කට වැඩි මේ රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ලකාපු, මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු, ඒ පිළිබඳව වගකිවයුතු යැයි කෝප් කමිටු වාර්තාවේ නම සඳහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නාමයෝජනා ලබානොදෙයි කියලා. 

දැන් තියෙන්නේ පිරිසිදු එක්සත් ජාතික පක්‍ෂයක්නේ. චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා දෙන්නේ නැහැනේ. එහෙමනම් ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා රනිල් වික‍්‍රමසිංහටත් ලැබෙන්නේ නැහැ.“ 
“ඒ විතරක් නොවෙයි, වත්තල ප‍්‍රාදේශීය සභාවට කඩා වැදිලා මැර බලය පෙන්වපු, ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වාහන යොදාගෙන සේරුවාවිල ප‍්‍රදේශයේ නිදන් හාරපු, ජෝන් අමරතුංගට ‘පිරිසිදු එජාපයේ’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. 

ඒ වගේම තඹ කන්ටේනරයක් මුදාගැනීමට බලපෑම් කළ බවට චෝදනා ලබපු සුජිව සේනසිංහට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ. තවද භුවල්කා සමාගමෙන් කප්පම් ඉල්ලපු පාලිත රංගේ බණ්ඩාරට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. 

ඒ වගේම කරුංකා ප‍්‍රතිඅපනයන භාණ්ඩයක් බවට පත් කරලා කරුංකා කන්ටේනර් රේගුවෙන් නිදහස් කරන්න බලපෑම් කරපු රවී කරුණානායකට පිරිසිදු එජාපයෙන් නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඌව පළාතේ වැලි තොටවල් එජාප හිතවතුන්ට ලබා දුන්නු බවට චෝදනා තියෙන හරින් ප‍්‍රනාන්දුට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැෙබිවි කියලා අපි හිතන්නේ නැහැ. 

මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සමෘද්ධි මුදල් තම හිතවතුන්ට බෙදා දුන්නු සජිත් පේ‍්‍රමදාසට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. බැඳුම්කර සුදාලාට, නිදන් සුදාලාට, තඹ සුදාලාට, වැලි සුදාලාට, කරුංකා සුදාලාට, සමෘද්ධි සුදාලාට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ.

නාමයෝජනා භාරදෙන දිනයේදී මේ චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා නොදී ‘අපි පිරිසිදුයි’ කියලා ඔප්පු කිරිමේ ඉඩකඩ එජාපයට දැන් ලැබී තිබෙනවා. ‘මහින්දට සන්ධානයෙන් නාමයෝජනා ලබා දෙනවා’ කියපු ගමන් අලියා හතරගාතෙන් වැටිලා  ඉවරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න ‘අප්පච්චි මළෝ ගැන්සියේ’ අය තම පක්‍ෂයට එනවා කියමින් පාක්ෂිකයෝ බිඳ වැටෙන්න නොදී රඳවා ගන්න අද එජාපය බලවත් උත්සාහයක නිරත වෙනවා. මේ ඇහෙන්නේ එජාපයේ පරාජයේ අදෝනාවයි.’’ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad