'සෙමා' ආයතනය ගැන රටේ බොහෝ දෙනෙක් දන්නා වග සැක නැත. එහෙත් කාගෙත් දැන ගැනීම පිණිස නැවත එය සිහිපත් කරමු. 'සෙමා' (SEMA) යනු උපායමාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනයයි.
((STRATEGIC ENTERPRISE MANAGEMENT AGENCY)) ශුද්ධ සිංහලෙන් "උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකාරී ආයතනය"යි. එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය. මෙම සෙමා ආයතනය ගැන ඊයේ පුවත්පත්වල ප්‍රවෘත්තියක් පළවී තිබිණි.
ආයතනය 'සෙමා' වුවත් ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණේ එහි සම්බන්ධී කරණ ලේකම්වරයකු ගැනය. පුවතට අනුව මේ සම්බන්ධීකරණ ලේකම්
වරයා ඇතුළු හතර දෙනෙක් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය අසලදී සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ 'එක්‌ස්‌ටසි' නම් මත් පෙති තොගයක් අලෙවි කරමින් සිටියදීය.
සම්බන්ධීකරණ ලේකම්වරයා දක්‌ෂ 'උපායමාර්ගික' ලේකම්වරයකු බව සැක හැර දැන ගැනීමට ලැබීම සතුටක්‌ය. මෙතෙක් කලක් නමගිය 'කුඩු සමාගම්' පවත්වාගෙන ගිය අයටත් උපායමාර්ගිකව බිස්‌නස් කරන්නට නොහැකිවීම ගැන අදාළ ලේකම්වරයා හිතින් හිනා වෙවී සිටින්නට ඇති බව නිසැකය.
'එක්‌ස්‌ටසි' යනු රුපියල් 3500 සිට 6500 දක්‌වා මිලකට අලෙවි කරන මත් පෙත්තකි. මෙරටට ගලා එන විවිධ මත්ද්‍රව්‍ය අතර "එක්‌ස්‌ටසි'වලටද ප්‍රධාන තැනක් හිමිවේ. එහෙයින් අප නිසැකවම සටහන් කරන්නේ එක්‌ස්‌ටසි යනු මත්ද්‍රව්‍යයකි. හෙරොයින්, ගංජා, හෂීස් සේම එක්‌ස්‌ටසිද තහනම්ය.
උපායමාර්ගිකව මේ කාර්ය කළමනාකරණය කරන්නට ව්‍යවසායකයත් තව තිදෙනකු සෙමා ලේකම්ට උදව් වී ඇති බව කියති. ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් කොස්‌තාපල්වරයකුද වෙයි. මේ පිරිස අල්ලා සෙමා නියෝජිතයාද සමඟ හක්‌කේ තබා සෙම හැරිය යුතු යෑයි අප කියන්නේ නැත.
එසේ කී විට තැති ගන්නා තවත් බොහෝ පිරිසක්‌ද සිටින බව අප දන්නා නිසාය. ඒ බව අපට කීවේ වෙනින් කවුරුත් නොවෙයි අතිගරු ජනාධිපති තුමාය. ජනාධිපතිවරයා මේ ඊයේ පෙරේදා කියා තිබුණේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට උදව් දෙන ආයතන දෙකක රාජ්‍ය නිලධාරීන් ගැන ආරංචි ලැබී ඇති බවයි. ආරංචිය නම් ටක්‌කෙටම හරිය.
රටේ ජනතාව මේ ගැන දැන සිටියේ බොහෝ කලක සිටය. රටට නානා විධ මත්ද්‍රව්‍ය ගලා එන විට, කුඩු කන්ටේනර් ගණනින් එනවිට, හලාවත, තොඩුවාව, මන්නාරම, යාපනය, තංගල්ල ආදී ප්‍රදේශවලින් මෙරටට මත්ද්‍රව්‍ය ගලා එනවිට එයට දේශපාලන අනුග්‍රහයත් සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ මැදිහත්වීමත් ඇති බව රටේ ජනතාව දැන සිටියහ. පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කළ ද ඒ නොදරුවන් ද ඊට පිළිතුරු ලියන බව නිසැකය.
ජනාධිපතිවරයාට මේ තොරතුරු ලැබෙන තෙක් මත්ද්‍රව්‍ය නාශක අංශ ආරක්‌ෂක අංශ බම්බු ගැසුවාදැයි අප අසන්නේ නැත. මත්ද්‍රව්‍ය ජාවාරමේ හොඳම කෙරුම් කාරයන් 'හිරේ' කියමින් හුරේ දමන බොහෝ දෙනකුට එළියේ මෙහෙයුම් කටයුතු කරන "උපායමාර්ගික" කට්‌ටිය පෙනෙන්නේ නැත. අසුවන්නේ ද නැත. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නවතා දමන්නට නම් මුලින්ම කළ යුත්තේ මේ උපායමාර්ගික සම්බන්ධය කඩා දැමීමය.
රේගුවෙන්, ගුවන් තොටුපළින් බඩු නිකම්ම එළියට එන්නේ නැත. සියලුම නිලධාරීන් ඊට උදව් කරන බවක් අප නොකියමු. එහෙත් එසේ සිදුවන බවට ඕනෑතරම් සාක්‌ෂි පසුගිය කාල වකවානුව පුරාම තිබුණු බවද අමතක නොකරමු. සෙමා ලේකම් එහි එක් පුරුකක් පමණි. ඔවුන් තමන්ගේ රාජකාරීමය වරප්‍රසාද, බලතල පවා මෙවැනි සක්‌කිලි ජාවාරම් සඳහා උපයෝගී කරගන්නා බවට සැක නැත.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන්ට පහසුකම් සලසන සෘජුවම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රාජ්‍ය ආයතනවලට සම්බන්ධ මෙවැනි 'සෙමා' ලට බුරුලක් නොදිය යුතු බව අපේ අදහසයි. මේ අය ඔරිජිනල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වඩා අතිශය භයානක කොටසකි.
Tuesday, June 30, 2015
මේ තොරතුරු ලැබෙන තෙක් මත්ද්‍රව්‍ය නාශක අංශ ආරක්‌ෂක අංශ බම්බු ගැසුවාද..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment