රන්ජන් කඩා පැන ඇත්තේ ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට… බෞද්ධයන් ප‍්‍රකෝප කරනු එපා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

රන්ජන් කඩා පැන ඇත්තේ ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට… බෞද්ධයන් ප‍්‍රකෝප කරනු එපා

බෞද්ධ සිද්ධස්ථානවලට කඩා වැදී බෞද්ධයන් ප‍්‍රකෝප වන ආකාරයේ බලපෑම් කිරිමෙන් වළකින ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

අද (10) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, ජාතික ගුරු සභාවේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ප්‍රේමවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පේ‍්‍රමවංශ මහතා මෙසේද පැවසීය.
‘පසුගිය බදාදා රාත‍්‍රීයේ කඩවත ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට වත්මන් ආණ්ඩුවේ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් කඩා වැදී එතැන කලහකාරී ලෙස හැසිරී තිබුණා. 

අද තැනක් නොතැනක් නොබලා  පොලිස් බලතල අතටගෙන වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විවිධ ස්ථානවලට කඩාවදිමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වාතාවරණයක් තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ පූජනීය ස්ථානවලට මේ ආකාරයට කඩා වදින ප‍්‍රවණතාවක් අද ඇතිවී තිබෙනවා. 

එවැනි එක් අවස්ථාවක් ලෙස තමයි රන්ජන් රාමනායක මහතා මෙසේ භාවනා මධ්‍යස්ථානයකට කඩා පැන තිබුණේ. අපි රන්ජන් රාමනායක මහත්තයාට කියන්න කැමතියි ‘ඔබ මේ රටේ පශු සම්පත් නියෝජ්‍ය ඇමති. ඔබේ විෂය පථයට අදාළ කඩාවැදිය යුතු තැන් ගණනාවක් තිබෙනවා. 

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බොහෝ ගොවිපළවල්වල ගැටළු රැසක් තිබෙනවා. නුවරඑළියේ බෝපත්තලාව ගොවිපළ ඉන් එකක්. ඩයගම ගොවිපළ තවත් එකක්. ඒවාට යන්න, එළදෙනුන්ට පැටව් නොමැතිවීමේ සිට, සේවක ගැටළු රැසක් ඒවායේ තිබෙනවා. ඒවාට කඩා පැන කඩිනමින් විසදුම් දෙන්න’ කියලා.

බෞද්ධ මධ්‍යස්ථානයකට කඩා වැදීමට කිසිදු අයිතියක් නැහැ. ඒ වගේම අධිකරණයකින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් නොමැතිව කිසිදු ස්ථානයක් පරික්ෂා කිරීමට බැහැ. ‘පන්සල්වල හොරකම් වංචා, දුෂණ සිදුවෙනවා’ කියන මතය හැදීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා.

දළදා මාළිගාව අසල මාර්ගය විවෘත කිරීමට මේ යහපාලන ආණ්ඩුව උත්සාහ කළත් අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ රටේ බෞද්ධ ජනතාව ඊට විරුද්ධයි. දළදා මාළිගා පරිශ‍්‍රය පූජා භූමියක් ලෙස ගැසට් කරනු ලැබුවේ ආර්. පේ‍්‍රමදාස මැතිතුමා. 

ඒ ගැසට් නිවේදනයට අනුව වහපු පාර අන්‍යාගමික එජාප ඇමතිවරයකු අරින්න හැදුවා පෙරේදා (07) සවස පොලිසියට නියෝග දුන්නා මේ ඇමතිවරයා ‘වහාම පාර වීවෘත කරන්න’ කියා. අස්ගිරි මහනාහිමියෝ මැදිහත් වී රටේ ඉහළම තැනට කියලයි ඒක වළක්වා ගත්තේ. ඒකත් බෞද්ධ සිද්ධස්ථානයකට කළ බලපෑමක්. 

මේ යහපාලන ආණ්ඩුව අද වන විට ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ‍්‍රී දළදා මාළිගාවට තිබෙන ආරක්ෂාව අහිමි කරන්න ඊට තිබෙන ගෞරවනීය භාවයට හානි කරන්න කටයුතු කර තිබෙනවා. අප මේ ආණ්ඩුවට අවධාරණය කරනවා ‘මාධ්‍ය සංදර්ශන පවත්වන්න. ඒත් බෞද්ධ සිද්ධස්ථානවලට බෞද්ධයන් ප‍්‍රකෝප වන ලෙස බලපෑම් කිරිමෙන් වළකින්න’ කියලා.

05/2015 අංකය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ චක‍්‍රලේඛය මගින් පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම නීතිගත කර ඇති බවත්, එය නිදහස් අධ්‍යාපනය පිළිබඳ කන්නන්ගර  මූලධර්මවලට පටහැනි බවත්, මා ජාතික ගුරු සභාවේ සභාපති ලෙස පෙන්වා දුන්නා. 

ඊට පිළිතුරු වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවේ එම චක‍්‍රලේඛයෙන් එවැනි දෙයක් සිදුනොවන බවයි. නිදහස් අධ්‍යාපන මූලධර්මයන්ට පටහැනි මෙම චක‍්‍රලේඛය මගින් පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම නීතිගතකර තිබෙන බව මා යළි යළිත් අවධාරණය කරනවා. මේ පිළිබඳව මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට අභියෝග කර සිටිනවා’

– අනුරුද්ධ බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad