කිවුවේ යහ පාලනයක්.. අද ඇත්තේ බලහත්කාරී පාලනයක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

කිවුවේ යහ පාලනයක්.. අද ඇත්තේ බලහත්කාරී පාලනයක්…

යහපාලනයක් ගෙන එනවා යැයි කියූ අය අද ගෙනයන්නේ බලහත්කාරී පාලනයක් බවත් වත්මන් පාලකයන් අගවිනිසුරුවරයා ගෙදර යැවූ ඛේදනීය ආකාරයෙන් එය මනාව පැහැදිලි වූ බවත්  ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(29) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශාපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද සඳහන් කළේය

‘ඊයේ(28) දිනය, ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ බරපතළම ඛේදවාචකයක් ඇති කළ දිනයක් ලෙසයි ජාතික නිදහස් පෙරමුණ දකින්නේ. ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක වන ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ දැක්වෙනවා. 

ඒ අනුව ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය, ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනවා. රටේ ආරක්‍ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරනවා.

ඒ වගේම ජනතාවගේ අධිකරණ බලය අධිරකරණ පද්ධතිය මගින් ක‍්‍රියාත්මක කරනවා. ඒ අනුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අධිකරණය යන පාලන ආයතන තුන මගින් තමයි ක‍්‍රියාත්මක වන්නේ. 

ඒ නිසා රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ලබා දිය හැක්කේ රට පාලනය කරනු ලබන ඉහත කී උත්තරීතර පාලන ආයතන තුනටයි. වත්මන් ජනාධිපතිවරයා ඡුන්දෙන් දිනපු පළමු දිනයේම පාර්ලිමේන්තුවේ   උත්තරීතරභාවය බිඳ වැට්ටවීමේ කර්තව්‍ය ඉටු කළා. 

එතුමා එදා දිවුරුම්දී විනාඞ් කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා නොගත්, මන්ත‍්‍රී ධුර 49ක් පමණක් ඇති එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා අගමැති ධුරයට පත් කළා.

ඒ වගේම ඊයේ මේ රටේ අධිකරණ පද්ධතියේ ප‍්‍රධානියා වන අගවිනිසුරු, ධුරයෙන් ඉවත් කළ ආකාරය අපි දුටුවා. පෙරේදා රාත‍්‍රියේ අගවිනිසුරුතුමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාත් සාලි නැමැත්තා තර්ජනය කළ බවට පොලීසියට පැමිණි කර තිබුණා. 

එම ඛේදජනක තත්ත්වයට පෙරාතුව මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ‘අගවිනිසුරු ගෙදර යන්න’ කියලා නීතිඥ සංගම්, සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂණ සිදු කරනු ලැබුවා.  මේ ආණ්ඩුව මෙසේ බලපෑම් කරනු ලැබුවේ පුද්ගලයකුට නොවෙයි. මේ රටේ සමස්ත අධිකරණ පද්ධතියටයි. 

අධිකරණ පද්ධතියේ ප‍්‍රධානියා උද්ඝෝෂණ, තර්ජන වැනි බලහත්කාරකම් මගින් ඉවත් කිරීමට ගත් උත්සාහය ඊයේ (28* උච්චතම ස්ථානයට පැමිණියා. ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා සම්මත ක‍්‍රමවේදයෙන් තොරව ඉවත් කොට තිබෙනවා. 

ඔහුගේ පත්වීම බලශූන්‍ය පත්වීමක් බවත්, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ගෙන එනවා යැයි කියූ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?
අද එක්සත් ජාතික පක්ෂයේ අණසකට යට වී ඇති ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයත්, සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද කෑ මොරදුන් පිරිසත් මේ රටේ අගවිනිසුරුවරයා බලහත්කාරී ලෙස ගෙදර යවා තිබෙනවා.

මේ ක‍්‍රියාකාරීත්වය නිසා අද වන විට මේ රටේ නීතියේ ආධිපත්‍යය බිද වැටී තිබෙනවා. අපි අහනවා මේ රටේ ජනතාවගෙන්, විශේෂයෙන් යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන් ජනතාවගෙන්, ‘ඔබ මේ මෛත‍්‍රී පාලනයෙන් මෙවැනි ක‍්‍රියාවන් බලාපොරොත්තු වුණාද?’ කියා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් යම් විෂම පැවැත්මක් සහිත විනිසුරුවරයකු ඉවත් කිරිමේ බලය මේ රටේ ව්‍යවස්ථාදායකයට පවරා තිබෙනවා. ඒත් ඒ බලයට පයින් ගහලා ඊයේ ‘බජාර් එකේ චණ්ඩියා’ ලෙස හැසිරෙමින් බලහත්කාරය යොදා ගෙන අගවිනිසුරුවරයා ඉවත් කළා. මේ රටේ අධිකරණ සේවයේ ඉහළම නිලය දරන්නා තමයි මේ බලහත්කාරයට ගොදුරු වුණේ.

මේ ක‍්‍රියාදාමය තුළින් මේ ‘යහපාලන ආණ්ඩුව’ රාජ්‍ය සේවයට, අධිකරණ සේවයට පෙන්වා දී ඇත්තේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි. අපි කියන විදියට වැඩ කරන්න  ඕනෙ. නැත්තම් ගෙදර යන්න වෙයි’ කියන එකයි. මේවාට කියන්නේ ‘බලහත්කාරය’. 

අපට මතකයි ජේ.ආර්. ජයවර්ධන පාලනය එදා 1977දී බලයට ඇවිල්ලා හිටපු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් පුටුවෙන් ඇදලා දාලා, තමන්ට කැමති අය පුටුවේ වාඩි කරවූවා. 2001-2004 රනිල් වික‍්‍රමසිංහ පාලනය තුළත් මේ දේම මේ රටේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් අත් දුටුවා. ඇති කරනවා කියපු යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය මේකද?

යහපාලනයක් ගෙන එනවා කියපු අය අද ගෙන යන්නේ බලහත්කාරී පාලනයක්. අද අමාත්‍යාංශ ලේකම්වරයකුට, දෙපාර්තමේන්තු ප‍්‍රධානියකුට, විදුහල්පතිවරයකුට තමන්ගේ පුටුවේ වාඩි වෙන්න බයයි. මෙසේ බිය වැද්දීමෙන්ද, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය හදන්න යන්නේ. 

අද යහපාලනය බලහත්කාරී පාලනයක් බවට පත්වී තිබෙනවා. යහපාලනයක් බලාපොරොත්තු වූ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ පිළිබදව වඩාත් විවෘත මනසකින් සිතන්න කියලා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් අපි ඉල්ලනවා ‘රටේ යහපාලනය වෙනුවට ගෙනයන බලහත්කාරී පාලනය වහාම නතර කරන්න අවශ්‍ය පියවර ගන්න’ කියලා. 

අද මේ රට ක‍්‍රමක‍්‍රමයෙන් අදුරු යුගයකට ඇදගෙන යන බවයි දක්නට ලැබෙන්නේ. මේ තත්වය තේරුම් ගෙන ඊට එරෙහිව නැගී සිටින ලෙස අපි සියලූ බුද්ධිමත් ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා’’.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා සහ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතාද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad