ශිරාණි බණ්ඩාරනායකත් ස්වාධීනව කටයුතු කලේ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

ශිරාණි බණ්ඩාරනායකත් ස්වාධීනව කටයුතු කලේ නෑ..

අගවිනිසුරු ධුරය හෙබවූ මොහාන් පිරිස් මෙන්ම ඊයේ බදාදා නැවත පත්ව අද, බ්‍රහස්පතින්දා විශ්‍රාම ගිය අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ස්වාධීනව රාජකාරි නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉතා හිතවත්ව කටයුතු කළ හිටපු අග විනිසුරුවරිය, ආණ්ඩුවේ තනතුරක් දැරූ ඇගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා අතර ප්‍රශ්න මතු වූ බව අමාත්‍යවරයා  විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැවසුවේය.

අමාත්‍ය රාජිත සේනාරත්න අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකරු කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයකු වන අතර ඔහු පැවසුවේ ඇයට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කළ එකක් වුවත් ඇයට එරෙහිව සාධාරණ චෝදනා එහි තිබූ බවයි.

හදිසියේ එම චෝදනා ගෙන එමේ අවශ්‍යතාවක් නොමැති බව හා ඇයට පිළිතුරු දීමට අවශ්‍ය නිසි කාලයක් ලබා දිය යුතු බව තමන් හිටපු ජනාධිපතිවරයාට පැවසූ නමුත් ඔහු ඒ පිළිබඳ උනන්දු නොවූ බව ඔහු පැවසුවේය.

ඇයගේ ස්වාධීනත්වය පිළිබඳ සහ ඇයට එරෙහිව සාධාරණ චෝදනාවක් ඇත්නම් ඇය නැවත පත් කළේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළ දෝෂාභියෝග චෝදනා විශේෂ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පසුගිය රජයට සිදුවූ අතපසු වීම නිසා මෙම තත්වය උදාවී ඇති බවයි.

ඒ පිළිබඳ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කළ බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න ඒ අවස්ථාවේ දී ආණ්ඩුව එම අතපසු වීම යට ගැසූ බව කියා සිටියේය.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad