ඇතැම් අය තුළ වැරැදි මතයක් තියෙනවා
ඒවා ඉතින් ස්වභාවදහමේ නියමයන් එක්ක වෙන්න තියෙන වෙලාවට වෙයි
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල චරිත් අබේසිංහගේ "තාදී" ටෙලි නාට්‍යයේ ඉන්නවා. ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වෙන සනත් අබේසේකරගේ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ඉන්නවා. ගීත දෙකක වැඩ කරගෙන යනවා. එක ගීතයක වීඩියෝ එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව යූ ටියුබ් නාළිකාවට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ගෙදර අය එකතු වෙලා තමයි ඒක කරන්නේ. මිලාන්, ඉරෝෂන් මල්ලී, චූටි මල්ලී, ජීවන්, අප්පච්චි මට උදවු කරනවා. කථිකාචාර්යවරියක් විධියටත් වැඩ කරනවා. රූපවාහිනී වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වැඩකටයුතු කරගෙන ඉන්නවා.
මේ දිනවල ඔබේ රංගන දායකත්වය ලබාදෙන ටෙලි නාට්‍යවල ඔබේ චරිත ස්වභාවය පැහැදිලි කළොත්?
මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ මම කුමීගේ චරිතය කරන්නේ. කුමීගේ දරුවා තමයි උන්මාද චිත්‍රාගේ දරුවා වෙනුවට දෙන්නේ. තාදී ටෙලි නාට්‍යයේ මදාරාගේ චරිතය කරන්නේ. රහස් ඔත්තු සේවයට සම්බන්ධ ටිකක් වෙනස් චරිතයක්.
ඔබේ යූ ටියුබ් නාළිකාව ප්‍රේක්‍ෂකයන් අතර ඉක්මනටම ජනප්‍රිය වුණා නේද?
ඔව්. යූ ටියුබ් නාළිකාවක් කරමු කියන අදහස මටයි මිලාන්ටයි තිබුණා. අදහස තිබුණට පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ මිලාන්ගේ බර්ත්ඩේ කේක් එක මායි බුවියි එකතු වෙලා හදනවා බලන් ඉඳලා, සජිත කිව්වා අක්කා මේ වගේ දෙයක් හදන්න අමාරුයිනේ. මේ වගේ දෙයක් දාන්න ඕනේ යූ ටියුබ් චැනල් එකේ. අපි මේක ෂූට් කරලා දාමුද කියලා ඇහුවා. පස්සේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙලා ෂූට් කරලා අප්ලෝඩ් කළා. කුකින්ග් වීඩියෝස් තමා දිගටම ගියේ. නමුත් ඉදිරියේදී විවිධ විශේෂාංග යූ ටියුබ් නාළිකාවට එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉදිරියේදී ඒවත් බලන්න පුළුවන් වෙයි. මට ආදරය කරන ප්‍රේක්‍ෂකයෝ ගොඩක් "මාධවී ඇන්තනී" යූ ටියුබ් නාළිකාව එක්ක එකතු වෙලා ඉන්නවා. තාම මාසයක් වගේ කෙටි කාලයයි යූ ටියුබ් නාළිකාව ආරම්භ කරලා. නමුත් හිතපු නැති තරම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා. මිලාන් තමයි මට ගොඩක් උදවු වෙන්නේ.
එකගෙයි සොකරි චිත්‍රපටයේ පසුබිම් ගීතයත් ඔබේ කටහඩින් හැඩවුණා නේද?
ඔව්. එකගෙයි සොකරි චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ. කොරෝනා තත්ත්වයත් එක්ක ආරක්‍ෂිත හේතු මත ඒක කල්ගියා. ජනතාවට බලන්න බැරි අවස්ථාවක චිත්‍රපටයක් පෙන්නලා වැඩක් නැහැ. මෑතකදී චිත්‍රපටය තිරගත වෙයි. මේක මගේ පළමුවැනි චිත්‍රපට ගීතය. චිත්‍රපටය තිරගත වුණාම ප්‍රේක්‍ෂකයන්ට ගීතය අහන්න පුළුවන් වෙයි.
ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැනත් මතක් කළොත්?
මියුසික් වීඩියෝ එක තමයි එන්න තියෙන්නේ. අප්පච්චි තමයි ගීතය ලිව්වේ. අදහස හරිම ලස්සනයි. ඉතින් මේ ගීතය අපේ ප්‍රේක්‍ෂකයෝ ආදරෙන් වැලඳ ගනී කියලා විශ්වාස කරනවා.
ඔබ වැඩියෙන් දක්‍ෂ රංගනයටද? ගායනයටද?
ඒක නම් කියන්න අමාරුයි. කුසලතාව ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය කියන කාරණා තියෙන්න ඕනේ කලාකාරයෝ බිහිවෙන්න. තමන්ගේ පළමු වැනි ප්‍රේක්‍ෂකයා වෙන්නෙත් පළමු වැනි විචාරකයා වෙන්නෙත් තමන්මයි. ඒකෙන් ලැබෙන තෘප්තියෙන් තමයි මම ගායිකාවක් වෙන්න උනන්දු වෙන්නේ. මට අයිති නැති චරිතයක් හිතේ තියාගෙන කරන්නේත්. මොන තරම් රසාස්වාදයක් දෙනවාද කියන එක ලොකු තෘප්තියක්. ඒ නිසා වැඩියෙන් දක්‍ෂ රංගනයටද ගායනයටද කියන එක සංසන්දනය කරන්න බැහැ. ඒ දෙකම හොඳට කරන්න බලනවා.
වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ ගායනයටද? රංගනයටද?
මට වැඩි කාලයක් වැඩි ප්‍රතිචාර ලැබුණේ ගායනයට. ඕනෑම තැනකට ගියොත් සින්දුවක් කියන්න කියලා තමයි කියන්නේ. නමුත් සම්මාන ලැබුණේ රංගනයට.
ඔබට ප්‍රේක්‍ෂක ආදරය නොඅඩුව ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නිසා තමයි අපි කලාවේ යෙදෙන්නේ. ප්‍රශංසා, විවේචන මේ සියල්ලක්ම කලා ශිල්පියකුට ලැබෙන තෑගි. ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය උත්තේජනයක්, විටමින් එකක් වගේ. මනස කඩාවැටුණු වෙලාවක වුණත් රසික ආදරයත් එක්ක ඒක අඩු වෙනවා. ප්‍රේක්‍ෂකයෝ එවන මැසේජ්, කමෙන්ට් හැම එකටම වගේ රිප්ලයි කරන්න මම උත්සාහ කරනවා. ඒවාට ගරු කරනවා. ඒක තමයි විය යුත්තේ. ලංකාවේ ප්‍රේක්‍ෂකයෝ හරිම බුද්ධිමත්. ඔවුන් අපේකම ගැබ්වෙච්ච නිර්මාණ දකින්න හරි කැමැතියි. මම හිතන්නේ ඒ දේවල් තමයි වැඩිපුර වපුරන්න ඕනේ.
මාධවී, අප්පච්චිගේ නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?
ඇතැම් අය තුළ වැරැදි මතයක් තියෙනවා මම ඉන්නේ අප්පච්චිගේ නිර්මාණවල විතරයි කියලා. නමුත් මගේ දක්‍ෂතාව හඳුනාගෙන දක්‍ෂතාවට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් ඒ චරිතය මම සතුටින් භාර ගන්නවා.
ආරණ්‍යාට (අඛිලගේ දුව) නැන්දණියගේ ආදරයත් නොඅඩුව ලැබෙනවා නේද?
අනේ ඔව්. ඒ හැඟීම මට කියලා නිම කරන්න බැරි හරිම ආදරණීය හැඟීමක්. කොරන්ටයින් කාලේ අපි හැමෝම එකට හිටියා. ඊට පස්සේ ටිකක් අෑත් වෙන්න වුණත් හැම වෙලාවෙම හිත දුවන්නේ ගෙදරට. ඉතින් නිතරම ගෙදර යන්න උත්සාහ කරනවා. හරිම අමාරුවෙන් එයා නැතිව කාලේ ගෙවන්නේ.
මාධවීට දැන්ම දරු සුරතල් බලන්න අදහසක් නැද්ද?
ඒවා ඉතින් ස්වභාවදහමේ නියමයන් එක්ක වෙන්න තියෙන වෙලාවට වෙයි.
ඉරේෂා කල්හාරි සේනාධීර - මවුබිම
No comments:
Post a Comment