කණ්‌ඩායම් සංගීතයේ කාලෙන් කාලෙට ලොකු වෙනස්‌කම් සිද්ධවෙනවා. සංගීත් විඡේසූරියගේ නායකත්වයෙන් පටන්ගත්තු සනිධප සංගීත කණ්‌ඩායම අද වනවිට වෙනස්‌කම් රැසකට භාජනය වෙලා. දැන් කණ්‌ඩායම මෙහෙයවන්නේ ශාන් ඩයස්. සනිධප එදා ඉඳන් අද වෙනකම් ආපු ගමන ගැන වගේම හදිසියේම විදෙස්‌ගත වෙන්නේ ඇයි කියලා ශාන් අපිට කිව්වේ මෙන්න මේ විදිහට.
සනිධප ළඟකදී අලුත් වුණා කියලා ආරංචියි ?
අවුරුදු දෙකක කලින් හිටපු සාමාජිකයෙක් වන නිලංග සිල්වා ඉවත්වුණාට පස්‌සේ ඒ වෙනුවට අපි කොට්‌ටාවෙන් බටහිර ගීත ගායනා කරන්න පුළුවන් අජන්ත හෙට්‌ටිආරච්චිව හොයාගත්තා. ඊට පස්‌සේ නොයෙල්ගේ ඉවත්වීමත් සමගම අපේ කණ්‌ඩායමට ගයාන් සංඛ මධු සම්බන්ධවෙනවා. එයා අපේ හිටපු නායක සංගීත් විඡේසූරියගේ සහෝදරයෙක්. ගයාන් කියන්නේ සංගීත්ගේ කටහඬට සමාන හඬක් තියෙන කෙනෙක්.
සනිධප සංගීත්ගේ හඬට සමාන හඬක් හොයාගත්තා ?
හොයාගත්තා. සංගීත්ගේ අඩුව සියයට සියයක් පිරුණා කියලා මට කියන්න බැහැ. මොකද සංගීත් වගේ කෙනෙක් හොයාගන්න අමාරුයි.
සංගීත් සනිධප කණ්‌ඩායමෙන් ඉවත්වුණත් එක්‌ක බෑන්ඩ් එකේ ජනප්‍රියත්වය අඩුවුණා නේද?
ඇත්තටම අඩුවුණා. සංගීත් අයියා කරපු දේ වෙන කෙනෙකුට කරන්න බැහැ. 2012 න් පස්‌සේ අපිට ඒ අඩුව දැනුණා. මේ නිසාම අපිට ප්‍රසංගවල අඩුවක් තිබුණා. හැබැයි අපේ ගේම අතහැරියේ නැහැ. ඒකට නොයෙල් සහ නිලංග ලොකු ශක්‌තියක් වුණා.
නිලංග ඉවත්වුණේ වාදක මණ්‌ඩලයත් සමග තිබුණ පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන්. නොයෙල් ඉවත්වුණේ ඔහුගේ පුද්ගලික හේතුවකට.
සනිධප කිව්වොත් සංගීත්. ඒ තැන ගන්න ශාන්ට තවම බැරි වුණා නේද?
2012 න් පස්‌සේ ඒක මට අභියෝගයක් වුණේ නැහැ. ඔහු ඉන්න කාලේ ඉඳන් බෑන්ඩ් එකේ බර කරට ගත්තේ මම. සංගීත් අයියා මාධ්‍යයට පවා කියලා තිබුණා ඔහු නිදහසේ හිටපු කෙනෙක් කියලා. මම තමයි කළමනාකරණ කටයුතු සිදුකළේ. ඒක හින්දා ඔහුගේ ඉවත්වීම ලොකු අභියෝගයක් වුණේ නැහැ.
සනිධප කණ්‌ඩායමට මේ වෙනකොට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා හිතනවාද?
පැහැදිලිවම. බාධක නොතිබුණාම නොවෙයි. නමුත් පුරුදු පරිදිම දැන් අපි වැඩ.
හදිසියේම විදෙස් ගතවෙන්නේ ඇයි ?
අපි කොහොමත් අවුරුදු දෙකකට වතාවක් දිගු කාලීන විදෙස් සංචාරයක් සැලසුම් ගතකරනවා. මේක මෙදා පාර වෙනදාට වඩා දීර්ඝවුණා. ඔක්‌තෝබර් මාසයේ කොරියාවට යනවා. ඊට පස්‌සේ යුරෝපය, ඩුබායි, ඉතාලිය, ජපානය වගේ රටවල ප්‍රසංග කිහිපයකට සහභාගි වෙනවා. ආපහු ලංකාවට එන්නේ දෙසැම්බර් මාසයේ. දෙසැම්බර් 11 වැනිදායින් පසුව තමයි අපි ආපහු ලංකාවේ ප්‍රසංග ආරම්භ කරන්නේ.
සංගීත් සනිධප කණ්‌ඩායම එක්‌ක ගායනා කරපු ගීතවල අයිතිය තියෙන්නේ කාටද?
සින්දුවල අයිතිය තියෙන්නේ සංගීත් අයියාට. හැබැයි ඔහු කවදාවත් කියන්නේ නැහැ ඒ ගීත කාටවත් ගායනා කරන්න එපා කියලා. සංගීත් අයියා කවදාවත් එහෙම හිතපු චරිතයක් නෙමෙයි.
ඒ කාලේ සංගීත් සනිධප දාලා ගියේ පෞද්ගලික අමනාපයක් නිසා නේද?
කිසිම පෞද්ගලික අමනාපයක් නිසා නෙමෙයි. ඔය උත්තරය මීට කලින් මම මාධ්‍යයට කියලා තියෙනවා. අදටත් මම ඒ කතාව එලෙසම කියනවා. සංගීත් අයියාට ඕනෑවුණේ ඝෝෂාකාරී සංගීතයෙන් මිදෙන්න.
නායකයා අයින්වුණාට පසුව ඔබලා ඒ ඝෝෂාකාරී සංගීතය ඉදිරියට අරගෙන යනවා ?
සංගීත් අයියා ඇතුළුව අපි සනිධප පටන්ගත්තේ ඝෝෂාකාරී සංගීතයෙන්. ඝෝෂාකාරී සංගීතය කියලා ගොඩක් දෙනෙක් කිව්වාට අපි ඒ රැල්ලෙන් වෙනස් විදිහට තමයි පටන්ගත්තේ. ප්‍රවීණ සංගීතඥයෝ අපිව ඝෝෂාකාරී සංගීතකාරයෝ කියන ගොඩට තමයි දාන්නේ. නමුත් අපි වෙනස් ආකාරයක ගමනක් යනවා.
සංගීත කණ්‌ඩායම් අතර අද ලොකු තරගයක් තියෙනවා නේද?
කිසිම කණ්‌ඩායමක් එක්‌ක අපිට කිසිම තරගයක් නැහැ. අනෙක් කණ්‌ඩායම්වල සියලුදෙනාම අපේ සහෝදරයෝ. එකම අභියෝගය තමයි ලංකාවේ සංගීත කණ්‌ඩායම් වැඩිවෙලා ප්‍රසංග බෙදිලා ගිහින් තියෙනවා. ඒ හින්දා සංගීත කණ්‌ඩායම්වලට ප්‍රසංගවල අඩුවක් තියෙනවා.
ඔබලා වෙනත් කණ්‌ඩායම් අනුකරණය කරන්නේ නැතිද?
ලංකාවේ තියෙන කිසිම සංගීත කණ්‌ඩායමක් අපි අනුකරණය කරන්නේ නැහැ. අපි පිටරටවල තියෙන සංගීත කණ්‌ඩායම් තමයි අනුකරණය කරන්නේ. ලංකාවේ සංගීත කණ්‌ඩායම් අපිව අනුකරණය කරනවා.
සනිධප හදිසියේම විදෙස්‌ගතවෙන්නේ සංගීත කණ්‌ඩායමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයිද?
නැහැ. අපි ප්‍රසංග කිහිපයකට තමයි විදෙස්‌ගත වෙන්නේ. එහෙම නැතිව අපේ කණ්‌ඩායමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි විදෙස්‌ගත වෙන්නේ.
දිනේෂ් විතාන

No comments:
Post a Comment