මැණික් සල්ලිවලට ආයුෂ අඩුයැයි කියමනක් තිබේ. මැණික් ලද පුද්ගලයා මසුරු නොවී පිරිමැස්මකින් තොරව වියදම් කරන බැවිනි. මැණික් ගරන්නා ද සිතන්නේ හැමදාම එක වගේ මැණික් ලැබෙනු ඇතැයි කියා ය. ඒ ලෙසම මීට දසක පහකට පමණ පෙර ඇළහැර
මැණික් මතු වුණේ නොසිතුව විලසිනි.
එකල ඇළහැර මැණික් ගැරීමට යන නඩ දින දෙක තුනේ මැණිකක් ගරාගෙන ගමට පැමිණෙති. එම මැණික් අලෙවි කර නැවත ඇළහැර යන නඩය තව දින දෙක තුනකින් යළි මැණික් ගරාගෙන ගමට පැමිණෙති. මේ කාලයේ අපේ ගම් පළාතේ ලක්ෂපතියෝ බොහෝ සිටියහ. ඒ ලක්ෂපතියන් කළ කී කතා පැරැණියෝ අදත් සිහිපත් කරති.
හිටි හැටියේ ලක්ෂපතියන් වූ ඇතැම්හු ඒ කාලයේ තිබූ අනර්ඝතම මෝටර් රථය වූ ෆෝඩ්, මයිනර් වැනි රථ මිලට ගත්හ. ඔවුහු එම වාහන පැදවීමට පළපුරුදු රියැදුරන් යොදා ගත්හ. වාහනයේ මිතුරන් පටවා ගෙන තැබෑරුමට යෑමත්, සූදුවට යෑමත් ඔවුන්ගේ දින චරියාව විය. මෙසේ මාස තුන හතරක් ගිය පසු ඇතැමුන්ගේ වාහන ගරාජයවල දිරා පත් වන්නට විය. ඇතැමුන්ගේ වාහන අතින් අතට විකිණී ගොස් ආගිය අතක් නැති විය. ඇළහැර මැණික් ලැබෙන ඉල්ලම් අඩු වෙත්ම මැණික් ගරන්නන්ට අසුබ කාලයක් උදා විය. ගමේ ලක්ෂපතියන් හිටපු තත්ත්වයට පත්වීමට වැඩි කලක් නොගියේ ය.
එසේ ලක්ෂපතියෙකු ලෙසින් මැණික් සල්ලි මිටි කොට්ටය සේ හිසට තබා ගෙන නිදා ගත් අයෙකු පසුගිය දිනක ඇහැළියගොඩ රෝහලේදී මට හමු විය. හයේ වාට්ටුවේ නේවාසික සිටි ඔහු බුළුගහපිටියේ සෝමරත්න විය. (නියම නම නොවේ) එකල ලංකාවේ භාවිතා වූ වටිනාකම වැඩිම නෝට්ටුව, රුපියල් සීයයි. වරක් මැණික් අලෙවි කර, රුපියල් පනස්දාහක් මුදල් ගෙදර ගෙන ගියේ ගෝනියක බව ඔහු පැවසුවේ සිනා සෙමින් ය. පාසලේ සල්පිල විවෘත කිරීමට ඔහු නැතිවම බැරි විය.
මඟුල් මේස ඉඳුල් කිරීම් ඔහු සොයා ආවේය. නොමසුරුව වියදම් කළ ඔහුට මාස හයක් පමණ ගනුදෙනු කර හාන්සි වී පෙර පුරුදු ජීවිකාවට බහින්න සිදු විය. ඔහු ගැන හැඳින්වීමක් කළ අයෙකු කීවේ ඔහු ඒ කාලයේ ගමේ තේ කඩයට ගොස් සිගරට් පැකට් එකක් ගෙන එයින් එකක් එළියට ගෙන දල්වා ගෙන ඇත්තේ රුපියල් සියයේ නෝට්ටුවකින් බව ය. එසේ මුදල් හෑල්ලුවට ලක් කළ සෝමදාස අද ඉතා අසරණව ජීවිකාව ගෙන යන්නකු බව දැන ගැනීමට ලැබිණි.
සෝමපාල මෙනේරිපිටිය
(සිත්මල් යාය)
Thursday, April 13, 2017
මැණික් සල්ලි වලට ආයුෂ අඩුය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment