යළි ඇවිලෙන කඩුවෙල පාතාල සටන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

යළි ඇවිලෙන කඩුවෙල පාතාල සටන

පාතාල නායක සමයං ඝාතනයෙන් නිහඬ වූ කඩුවෙල පාතාලයේ යළි හිස එසවීම් වාර්තා වන්නේ අලුත් අවුරුදු දිනයේදීය. සමයං ඝාතනය වූ දා කිරිබත් උයා රතිඤ්ඤා පත්තු කර සමයංගේ මරණය උජාරුවෙන් සැමරූ නිසා යළිත් කඩුවෙල පාතාලයට බිලි වන්නේ පිඩලි තුෂාරය.

සමයංගේ අඩුව පුරවන්නට කලු සාගරගේ ඇවෑමෙන් උත්සාහ ගන්නා ඌරු ජුවා මෙම ඝාතනයට මුල පුරන පාතාලයාය. සමයංගේ ඝාතනයෙන් පසුව කඩුවෙලින් පලාගිය සමයංගේ කල්ලියේ සාමාජිකයන් යළි එක්රැස් කර සමයංගේ තැනට එන්නට ඌරු ජුවාත්, කලු සාගරත් අතර සීතල යුද්ධයක් පවතින බවට ද පාතාල මර්දන කණ්ඩායම් පවසනවා. කළු සාගර දකුණේ මාතර අයකු බැවින් කළු සාගර යටතේ සිටීමට වඩා සමයං මෙන් පාතාල කිරුළ ගෙන වැජඹෙන්නට ඌරු ජුවා ද උත්සාහ ගන්නා වග පාතාල මර්දන කණ්ඩායම් දැන සිටියා.

මේ අතරතුර සමයංගෙන් පසුව නැවතුණු කප්පම් ගැනිල්ල දිගටම කරගෙන යාමට ඌරු ජුවා තම සගයන් යෙදෙව්වා. එහෙත් ඌරු ජුවාලාට කප්පම් දීම ව්‍යාපාරිකයෝ ප්‍රතික්‍ෂේප කළා. මේ සමඟ එම කල්ලියේ පිරිහී යන බලය යළි ගොඩනැංවීමට ඌරු ජුවා කලු සාගරගේ සහාය පතනවා. මේ වන විට සමයං සමග සිටි ගෝලයන් ද ගෙවල් දොරවල් අතහැර පවා ගොස් තිබුණා. කඩුවෙල, රණාල අවට ව්‍යාපාරිකයන් බියවැද්දවීමටත් අංගොඩ ලොක්කාගේත්, අතුරුගිරියේ බාල්දි ප්‍රියන්තගේ හා ලඩියාගේ කල්ලි හිස එසවීම නවත්වන්නටත් යළි භීෂණයක් මවන්නට ඌරු ජුවා සැලසුම් කරමින් සිටියා.

ඌරු ජුවාට අවශ්‍ය පිරිස් බලය හා ආයුධ ශක්තිය නොවූයෙන් එතැන දී සහාය පතන්නේ කලු සාගරගෙන්. මේ නිසාම කලු සාගරගේ සහාය ඇතිව අංගොඩ ලොක්කාට රිද්දවන්නට ඌරු ජුවා ඉලක්ක කරන්නේ පිඩලි තුෂාරවයි. පිඩලි තුෂාර යනු කඩුවෙල පාතාලයේ හිටපු ලොක්කකු වූ කඩුවෙල වසන්තගේ ප්‍රධාන ගෝලයෙකි. තණකොළ පිඩලි කපා විකුණන ජාවාරමේ කඩුවෙල ප්‍රධානියා වූ බටවලගේ මරණින් පසු පිඩලි තුෂාර කරළියට එන්නේ. කඩුවෙල කේන්ද්‍ර කරගත් කුඩු ජාවාරමට මොවුහු සම්බන්ධ වී සිටියහ. ඌරු ජුවා තම පෙම්වතිය ලෙස තෝරා ගත්තේ පිඩලි තුෂාරගේ අක්කගේ දුවවයි. එම සම්බන්ධයට තුෂාර විරුද්ධ වන්නේ ඌරු ජුවාගේ චරිතය හොඳ නැති බව කියමිනි.

සමයංගේ භීෂණය පතුරවමින් සිටි ඌරු ජුවාගේ ප්‍රේම සම්බන්ධය පිඩලි තුෂාර නිසා නැවතීමෙන් ඌරු ජුවා සිටියේ කේන්තියෙනි. සමයං සමඟ හිරේ සිටි ඌරු ජුවා හිරෙන් පනින්නේ කඩුවෙල උසාවි භූමියේ දී සමයංට අංගොඩ ලොක්කාගේ කල්ලියේ වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීයි. ආමි චමි නොහොත් එදිස්සූරියගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබන සමයංව බන්ධනාගාර බස් රථයේ දමාගෙන එතැනින් පනින ඌරු ජුවාත්, චමියාත් රෝහල අසල දී බස් රථයෙන් පැන යනවා. එතැනින් පසු සැඟවුණු ඌරු ජුවා තමාගේ වෛරක්කාරයා වූ පිඩලි තුෂාර සොයා එන්නේ ටී56 අවියක් ද සමගයි. ඉලක්කයට වෙඩි තැබිමට ඌරු ජුවාට හැකියාවක් නොවූයෙන් පිඩලි තුෂාරට එදා තැබූ වෙඩි ප්‍රහාරය වහලයේ වැදී නවතින්නේ.

ඉන් පසුව එතැනින් පලායන ඌරු ජුවා සොයා නවගමුවට අලුතෙන් ‍පොලිස් ස්ථානාධිපති ලෙස පැමිණෙන ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා විමර්ශන අරඹද්දී ඔහුට බියෙන් ඌරු ජුවා බන්ධනාගාරයට භාරවෙයි. ඉන් පසුව හිරගෙදර සිටින ඌරු ජුවා හා චමියා සමයං සමඟ අවසන් ගමන් නොයා බේරෙන්නේ එදා නඩුවට ඔවුන් දෙදෙනා වැලිකඩ සිට රැගෙන යන නිසාය. සමයං ඇතුළු අනෙක් සගයන් කළුතර සිට උසාවියට රැගෙන පිටවෙද්දී මොවුන් වැලිකඩ සිට කඩුවෙලට රැගෙන ගිය නිසා දිවි බේරාගෙන තිබුණි. එයින් පසුව යළිත් සමයංගෙන් ගිලිහුණු බලය රැකගන්නට කලු සාගරගේ සහාය මැද පෑලියගොඩ පාතාල ප්‍රබලයකු වන ඩී. මංජුගෙන් ටී56 අවියක් ගෙන්වා ගන්නේය. ඌරු ජුවාගේ ඉලක්කය වන්නේ පිඩලි තුෂාරවයි.

පිඩලි තුෂාර යන එන තැන් ගැන බලන්නට වෙන මම ත්‍රිරෝද රථයකින් තිදෙනකු යෙදවීය. ඔවුන් කුඩු පානයට හුරුවූවන් නිසා කුඩුපානය සඳහා අවශ්‍ය කුඩු පැකට් දී ඔත්තු ලබාගැනීම පහසු විය. සියලු තොරතුරු රැස් කරගත් පසු ප්‍රහාරයට අවශ්‍ය උපදෙස් ලැබෙන්නේ ද වැලිකඩ බන්ධනාගාරයේදීය. අවශ්‍ය ඉලක්කය කරා යනතුරු ඌරු ජුවා වැලිකඩ සිට දුරකථන මගින් තම සගයන් ඇමතීය. මේ වනවිට කලු සාගර ද වෙනත් නඩුවකට වැලිකඩ බලා රැගෙනවිත් බන්ධනාගාරයේ රඳවා තිබුණි. පිඩලි තුෂාර ඝාතනයට ඔත්තු බලන්නට යොදවන්නේ පූගොඩ හා කොතලාවල පිරිසකි.

ඒ ඌරු ජුවාට වැඩ කරන්නට කඩුවෙල රණා‍ලේ කණ්ඩායම් ඉදිරිපත් නොවීම නිසාය. පිඩලි තුෂාර අලුත් අවුරුදු ලබන දා (13) දහවල් ඝාතනය කිරීම සැලසුම විය. ඒ අනුව කඩුවෙල කොතලාවල තුෂාරගේ නිවස ඉදිරිපිටට යතුරපැදියක එන අවිගත් වෙඩික්කරුවකු ටී56 ගිනි අවියෙන් උණ්ඩ විසි තුනක් නිකුත්වන තුරු වෙඩි තබන්නේය. පාතාල සාමාජිකයන් දෙදෙනා අතරේ වූ තුවක්කුකරු දක්ෂ වෙඩික්කරුවන් නොවූයෙන් උණ්ඩ විසිතුනෙන් තුෂාරට වැදුණේ හයක් පමණි. එක් උණ්ඩයක් වැරදීමෙන් වැදීමෙන් තුෂාරගේ අසල්වැසියාත් මරණයට පත් වුණා.

වෙඩි ප්‍රහාරය මැදින් ප්‍රහාරකයින් පලා යන අතර දැඩිගමුව ප්‍රදේශයට යන්නේ කොතලාවල ප්‍රදේශයේ ගිනි අවිය සඟවමිනි. බන්ධනාගාරයේ සිට ඌරු ජුවා හා කලු සාගර මෙහෙයවූ ප්‍රහාරයෙන් බලා‍පොරොත්තු වූයේ අංගොඩ ලොක්කාට රිද්දවීම හා සමයංගේ බලය තවමත් ඇතිවග පෙන්වීමයි. අබිරහස් ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ සැලසුම වුවද නවගමුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාගේ මෙහෙයවීමෙන් ඇරඹි විමර්ශනයෙන් ප්‍රහාර සඳහා රැගෙන පැමිණි ගිනි අවියත්, ප්‍රහාරයට පැමිණි දෙදෙනකුත් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අවන්හලක බිරිඳ සමග කෑම ගනිමින් සිටියදී සමයංගේ කල්ලියේ දරුණු ප්‍රහාරයකට ලක්ව කැපුම් කෙටුම් තුවාලවලින් මරණයට පත් වූ චාමරගේ මරණයට සම්බන්ධ වූ සමයංගේ ගෝලයකු වන අසිත හා සුද්දා අත්අඩංගුවට ගනු ලැබුවා. මිරිහාන ‍පොලිසිය ප්‍රහාරයේ ඔත්තු බැලූ තවත් තිදෙනකු කොටුකර ගැනීමට සමත් වුණා. සමයංගේ ගිලිහී ගිය බලය ගන්නට ඌරුජුවා කටයුතු කරද්දී සමයංගේ එක් බිරිඳක් රණා‍ලේ බිම සමාගමට සමයං යොදා තිබුණු වෑන් රථ දෙකක්ද රැගෙන ගමට පලාගොස් තිබුණා.

සමයංගේ බලය ගිලිහීගියත් රණා‍ලේ මෙන්ම බියගම පිහිටි මහා පරිමාන බිම සපයන ආයතනවලට වාහන යෙදවීම හා මෑන්පවර් සේවකයන් ලබා දීමෙන් මාසිකව ලද ලක්ෂ ගණනක ආදායම යළි තමන් සතු කරගන්නට මෙම ඉතිරි කල්ලිය දැඩි සටනක නිරතවන බව මේ වන විට අනාවරණය වී ඇත. මේ නිසා ‍පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නියෝග අනුව විශේෂ කණ්ඩායම් සහිත ජීප් රථ හා බුද්ධි කණ්ඩායම් කඩුවෙල, රණාල, බියගම අතුරුගිරිය ප්‍රදේශවල නිරන්තර සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිනවා.

දිගින් දිගටම තම සාමාජිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර හිස ඔසවන්නට උත්සාහ ගන්නා සමයංගේ කල්ලියේ ඌරුජුවා හා කලු සාගර එරෙහිව සටන් කිරීමට අංගොඩ ලොක්කාත්, ලඩියාත් යළි මෙරටට පැමිණීමට සූදානම් වී ඇති වගද පාතාල මර්දන කණ්ඩායම් වෙත තොරතුරු ලැබි ඇත. සමයං ඝාතනයෙන් පසු ජාත්‍යන්තර මුහුදු සීමාව ඔස්සේ මෙරටින් පැනගත් පාතාලයන් දෙදෙනා යළි මෙරටට එන්නට කැසකවන්නේ තම නායකත්වය අහිමි බියෙන් ජීවත්වන සාමාජිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා බව දැනගන්නට ඇත.

සමයංගේ සිද්ධියට හිරගෙදර ලගින්නට වූවත් ලංකාවේ සිට තම සාමාජිකයන්ට එරෙහිව නැගී සිටින සමයංගේ පාතාලයට එරෙහිව සටන දිගටම ගෙන යාම ඔවුන්ගේ අරමුණ බව වාර්තා වනවා. මේ අනුව යළිත් ඌරුජුවා, කලු සාගර ඇතුළු කණ්ඩායම් ප්‍රහාර එල්ල කරන්නට වුවහොත් දෙපාර්ශ්වයේ ගැටුම් දුරදිග යාමට ඇති ඉඩකඩ වැඩිය. අංගොඩ කල්ලිය හා අතුරුගිරිය කල්ලිය සැලසුම් සහගතව සමයංව ඝාතනය කරන්නේත්, සමයංගෙන් තමන්ට හා කණ්ඩායම්වලට වූ කෙනෙහිලි කම් නිසාය.

සමයංට මෙන්ම අංගොඩ ලොක්කාත් හිරගෙදර සිට ක්‍රියාත්මක වූයේ දුරකථන භාවිතයට ඉඩකඩ සැලසී තිබුණු නිසාය. ඌරුජුවාලා, කලු සාගරලා ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නේ සිරගෙදර සිටය. මහර බන්ධනාගාරය දුරකථන භාවිත කිරීමට නොහැකි කලාපයක් බවට පත් කළා සේ වැලිකඩටත් ඒ ආදර්ශය ගෙන ගියා නම් රටේ අපරාධ රැල්ලෙන් අඩක්ම අඩුකළ හැකිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා,සඳරුවන් පලිහේන

No comments:

Post a Comment

Post Bottom Ad