ආණ්ඩුව එක පෝයකින්ම ගෙදර යැවීමට විමල් සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

ආණ්ඩුව එක පෝයකින්ම ගෙදර යැවීමට විමල් සැරසෙයි

ආණ්ඩුව එක පෝයකින්ම ගෙදර යැවීමට විමල් සැරසෙයි
අවුරුදු 30ක යුද සමයේදීවත් නොපැවති දුෂ්කර තත්ත්වයකට රට ඇද දමා ජනතාවගේ අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොව එක පෝයකින්ම ගෙදර යැවීමට ජනතාව පෙළගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ (11) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
‘‘මාස තුනකට ආසන්න කාලයක් සිරගතව සිටියදී මා දේශපාලන දඩයමට එරෙහිව ආහාර වර්ජනය කරමින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. එම උපවාසයට දින 08ක් සම්පූර්ණ වූ පසු රාමඤ්ඤ නිකායේ මහා සංඝ නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි ලිඛිතවත් සියම් මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජාතික රෝහලට වැඩම කර වාචිකවත් උපවාසය නතර කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම් අනුව මා උපවාසය නතර කරනු ලැබුවා. 

උන්වහන්සේලාගේ ඉල්ලීම් අනුව මා උපවාසය නතර කිරීමට අදාළ වූ කරුණු දන්වා සිටින්නයි අද මහනුවරට පැමිණියේ. අපිව සිරගෙවල්වල දාන්නේ රටට යහපතක් කරන්න නොවෙයි. අපිව සිරගෙවල්වල දැම්මාම මේ රටේ මිනිස්සුන්ගේ අතමිට සරු වෙනවා නම් අපි හැමදාම සිරගෙවල්වල ඉන්න සූදානම්. එට්කා ගිවිසුම අත්සන් නොකරනවා නම්, නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රට දෙපලූ නොකරනවා නම්, අපි සිරගෙවල්වල ඉන්න සූදානම්. හැබැයි අද සිදු කරන්නේ රටට ආදරය කරන දේශපාලන නායකයන්, පැවිදි නායකයන් රණවිරුවන්ගෙන් සිරගෙවල් පුරවන එක. 

අද රට ඇදගෙන යන්නේ දිනාගත් ජයග‍්‍රහණ අහිමි කරවන දිසාවටයි. එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ මනදොල සපුරන්න, ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජාතිවාදී, බෙදුම්වාදී සියලු බලවේගවල මනදොල සපුරන්න, ඉන්දියාවට, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට මේ රට විකුණන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ. ඒ ප‍්‍රතිපත්තියට එරෙහිව අපි ජනතාව සමග සටන්වදින නිසයි මේ විදියට සිරගෙවල්වල දාන්නේ. සිරගෙවල්වල සිටියත් එළියේ සිටියත් අපි මේ ආණ්ඩු විරෝධී සටන ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යනවා.
අපි කළ නිරීක්ෂණ අනුව ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් මේ අවුරුදු සමයේ ඇතිව තිබෙන්නේ. අවුරුදු 30ක යුදමය තත්ත්වයකදී වුවත් මේ රටේ ජනතාව මීට වඩා හොඳින් අවුරුදු සමරුවා. ජනතාවගේ ආදායම පහළ යාමත් ව්‍යාපාරිකයන්ට ආදායම් නොලැබී යාමත් විසින් මේ අවුරුදු සමයේ ඉහළම සතුට භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් අනුව මේ ආණ්ඩුව පෝය දෙකකින් නොවෙයි එක පෝයකින්ම ගෙදර යැවිය යුතුව තිබෙනවා’’ යැයිද මන්ත්‍රීවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad