සහරාන් හෂීම් අත්අඩංගුවට ගනිවි යැයි තමන් බලාපොරොත්තු වු බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සාක්ෂි ලබාදෙමින් සඳහන් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 11, 2020

සහරාන් හෂීම් අත්අඩංගුවට ගනිවි යැයි තමන් බලාපොරොත්තු වු බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සාක්ෂි ලබාදෙමින් සඳහන් කරයි



ත්‍රස්තවාදි කටයුතු වැලැක්වීම සදහාම විශේෂයෙන් ස්ථාපිත කරන ලද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගනිවි යැයි තමන් බලාපොරොත්තු වුවද පස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරුම ඔවුන් එසේ කිරීමට අසමත් වු බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.


ඔහු මේ බව සදහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ තෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදීම සදහා ඊයේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන දිනටයි.


එහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයෙකු ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම, ජාතික බුද්ධි ප්‍රධානියාද බුද්ධි තොරතුරු රැස් කිරීම සදහා බුද්ධි නිලධාරින් ආවේශන රාජකාරි සදහා යොදවා ඇත්ද යන්නයි.


එයට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා කියා සිටියේ " මට එහෙම ආවේශන රාජකාරි සදහා යෙදවීමට බුද්ධි නිලධාරින්, තොරතුරුකරුවන් සිටියේ නැහැ. මගේ කාර්යය මණ්ඩලයටම හිටියේ නිලධාරින් 22 යි. එකෙනුත් දෙතුන් දෙනෙක්ම රියදුරන්. තොරතුරු ලබාගැනීම සදහා බුද්ධි නිලධාරින් සහ තොරතුරුකරුවන් පවත්වාගෙන යන්නේ රාජ්‍ය බුද්ධි සේවය. ඔවුන් තමයි බුද්ධි තොරතුරු රැස් කරන රටේ ප්‍රධානතම ආයතනය. "


එහිදි විශ්‍රාමික විනිසුරුවරයා යළි විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ආවේශන රාජකාරි තුළින් සෑම තොරතුරක්ම ඔබ වෙත සැපයීමක් සිදු කරන්නේද යන්නයි.


ඇතැම් තොරතුරු තමන්ට ලබාදීමක් සිදුවුවද, ඇතැම් තොරතුරු ලබාදීමක් සිදු නොවන බව එම ප්‍රශ්නයට පිළිතුරු ලෙස මෙන්ඩිස් මහතා සදහන් කළා.


මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුවෙත ලේඛනයක් පෙන්වමින් විමසා සිටියේ සහරාන් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අන්තවාදය පතුරුවන බව රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් දැනුවත් කර තිබුනේද යන්නයි.


" ඔව් දැනුවත් කර තිබුණා. මට වගේම පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වගේම බුද්ධි සමාලෝචනය රැස්වීමත් ඒ පිළිබදව දැනුවත් කර තිබුණා " යනුවෙන් මෙන්ඩිස් මහතා පිළිතුරු ලබාදුන්නා.


එහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කර සිටියේ ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔබ ගත් පියවර කුමක්ද යන්නයි.


" අපි මීට පෙර සාමාන්‍යයෙන් විශේෂ කණ්ඩායම් සහ විශේෂ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වෙනම කණ්ඩායම් පත්කර තිබුණා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිහිටවනු ලැබුවේම එවැනි කාර්යන් වලට. එය සෘජුවම තිබුනේ පොලිස්පති යටතේ. සහරාන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයාටත් ගොස් තිබු නිසා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ කණ්ඩායමක් යොදා මේ සැකකරු අත්අඩංගුවට ගනි කියලා මම බලාපොරොත්තු වුණා. ඔවුන් සහරාන් හෂීම්ගේ බිරිදගේ කැකුණුගොල්ලේ නිවසටත් ගොස් තිබුණා. ඉතිං මම බලාපොරොත්තු වුණා ඔවුන් වැඩේ ඉන්නවා කියලා. " යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා පැහැදිලි කළා.


එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔබ ඒ පිළිබද සොයා බැලීමක් කළේද යන්නයි.


ඔව් මම සොයා බැලීමක් කළා. ඒ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයා මම විමසපුවාම කිව්වේ අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන් යනවා කියලා " යනුවෙන් මෙන්ඩිස් මහතා පිළිතුරු ලබාදුන්නා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එකම විමර්ශනයක යෙදි සිටින අවස්ථාවක යම් පාර්ශවයකට අනෙත් පාර්ශවයට විමර්ශනයෙන් ඉවත්වන ලෙස දැනුම්දීමට හැකියාවක් ඇත්ද යන්නයි.


එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ " එහෙම අවස්ථාවක දෙගොල්ලොම එකට එකතුවෙලයි විමර්ශනය කරගෙන යන්න ඕනේ. මොකද එවැනි අවස්ථාවක හොද සම්බන්ධිකරණක් තියෙන්න ඕනේ. නමුත් සහරාන් හෂීම්ගේ බිරිදගේ කැකුණුගොල්ල නිවසේදි එවැනි තත්ත්වයක් ඇතිවෙලා නැහැ.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම නේපාලය, කිරිගිස්තානය සහ කසකස්තානය වැනි රටවල දුරකතන සිම්පත් භවිතා කළ බවට හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා කොමිසම හමුවේ සදහන් කර ඇති බැවින් එවැනි තොරතුරක් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔබ දැනුවත්ව සිටියේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ තමන්ට එවැනි තොරතුරක් ලැබී තිබුණු බවට මතකයක් නොමැතිවුවද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස නිලන්ත ජයවර්ධන මහතාට එවැනි තොරතුරක් ලැබි තිබුණු බවට මතකයක් ඇති බවයි.


මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ජනාධිපති කොමිසම හමුවේ ලබාදී තිබු සාක්ෂි වලට අදාළව හරස් ප්‍රශ්න ඇසීමට සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය, මුස්ලීම් සංවිධාන ඇතුළු පාර්ශව 10 ක් කර තිබු ඉල්ලීමට අදාළව ඊයේ දිනයේද හරස් ප්‍රශ්න විමසීම සිදුකෙරුණා 


කෙසේ වෙතත් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජ්‍ය කරමින් පැමිණ පෙරේදා දින ජනාධිපති කොමිසමේ සාක්ෂි පටිගත කරමින් සිටියදි හසුවු වැඩබලන ලේකම් මව්ලවිවරයා හෝ ඔහුට සහය දැක්වු නීතිඥවරයා ඊයේ දින ජනාධිපති කොමිසමට පැමිණ නොතිබීම විශේෂත්වයක්.


මෙහිදි සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ජාවිඩ් යූසුෆ් මහතා ඥානසාර හිමියන්ට නම් ලැයිතුවක් සහිත ලේඛනයක් පෙන්වමින් විමසා සිටියේ "ඔබවහන්සේ කියලා තියෙනවා සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ විධායක සභාව වහබ්වාදින්ගෙන් පිරිලා කියලා. මට මෙම ලැයිස්තුවේ එවැනි මතධාරින් සිටිනවා කියා ඔබ වහන්සේට පෙන්වා දෙන්න පුළුවන්ද..?


" ඔය ලැයිස්තුවේ සිටින සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති ලෙස හැදින්වෙන අෂ්ශෙයික් රිස්වි කියන්නේ තබ්ලික් මතධාරියෙක්. උප සභාපති අගාර් මොහොමඩ් කියන්නේ ජමාතේ ඉස්ලාම් මතධාරියෙක්. විධායක සභාවේ සිටිනවා යැයි මේ ලැයිස්තුවේ නම් සදහන් වන එම්.එම් මුබාරක, අෂ්ශෙයික් මුර්ෂිඩ්, අෂ්ශෙයික් තාසිම් යන අයත් වහබ්වාදි මතධාරින්. මේවගේ සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තුළ සිටින්නන්ගෙන් 50% ක්ම වහබ්වාදය යටතට ගැනෙන තබ්ලික් මතධාරින් " යනුවෙන් ඥානසාර හිමියන් පිළිතුරු ලබා දුන්නා.


එහිදි නීතිඥවරයා යළි පෙරළා ප්‍රශ්න් කළේ " හරි 50% ක් තබ්ලික් මතධාරින් කියමුකෝ, එහෙම ඉන්න එකේ වරද මොකක්ද..? යනුවෙන්.


" වරද තමයි. කෙමෙන් කෙමෙන් මේ රට ඉස්ලාමිය රාජ්‍යයක් කරා ගෙනයනවා. වෙන වරදක් නැහැ. මෙරට නීතියට එරෙහිව ගිය සිදුවීම් රැසක් පසුගිය සමය තුළ අටළුගම වැනි ප්‍රදේශවලින් වාර්තා වුණා.සෞදි අරාබියේ රියාද් නගරයේ මුද්‍රණය කළ වහබ්වාදි පොත්පත් මේ රටට ඇවිල්ලා තියෙනවා. මේවා සුළගින් එන්න බැහැනේ. මේ පොත්පත් මෙරට ජීවත්වන සාම්ප්‍රදායික සුෆි මුස්ලීම්වරුන් සිංහල සමාජයෙන් වෙන්කරලා වහබ්වාදය වෙත ගෙනයාමට හේතුවෙනවා. මෙන්න මේ වගේ තැනකටයි ඔය කියන සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මේ රටේ මුස්ලීම් ජනතාවව ගෙනියන්නේ. සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ඔය කියන සභාපතිතුමා අඩුම තරමේ දවටගහ පල්ලියටවත් යන්නේ නැහැ සොහොන් වන්දනාව කියලා. කිංස්බරි හෝටලයට බෝම්බ ගැහුවෙත් ඔය වගේම තබ්ලික් මතධාරියෙක්" යනුවෙන් නීතිඥවරයාගේ ප්‍රශ්නයට ඥානසාර හිමියන් දිර්ඝ පිළිතුරක් ලබාදුන්නා.


මෙහිදි නීතිඥවරයා යළි ප්‍රශ්නයක් යොමුකරමින් විමසා සිටියේ " හලාල් නිෂ්පාදන වලට විරුද්ධ මන්ද " යන්නයි.


එයට පිළිතුරු දෙමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ,


" හලාල් කියන්නේ මුස්ලීම් ජනතාවගේ අයිතියක්. අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නය හලාල් සම්බන්ධයෙන් ඇති ක්‍රියාවලිය ගැන. දත් බුරුසුවට මොකටද හලාල් ලාංජන? පාරිභෝගික භාණ්ඩ වලට හලාල් ලාංජන ඕනේ නැහැ. SLS සහතිකය තිබ්බාම හොදටම ඇති. "


මේ අතර හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් මේ වන විට ජනාධිපති කොමිසම සිව්වන දිනටත් සාක්ෂි විමසමින් සිටිනවා

No comments:

Post a Comment

Post Bottom Ad