ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්

ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්
ජනපතිටත් වඩා‍ බලතල ඇති සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ විධිවිධාන පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට ආණ්ඩුව සුදානම් වන බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ අද(06) පැවැති මාධ්‍ය හමුවකදී ය. 

රටේ ආර්ථික සංවර්ධනයට අදාළව මෙම පනත ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මෙම පනත මගින් ජනපතිගේ බලතල පවා අභිබවා යා හැකි සුපිරි ඇමතිවරයෙකු බිහිකරන බවත් මෙය අගමැතිවරයා විසින් ගෙන එන්නක් බවත් ජී.එල් පීරිස් මහතා අවධාරණය කළේය.

මීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී හඬ නඟන බවත් එසේම අධිකරණයට ද යන බවත් මෙම පනත මගින් බිහිවන ඇමතිවරයාට එරෙහිව කිසිදු හඬක් නැඟීමට ජනතාවට ද ඉඩ නොලැබෙන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ මෙම පනත භයානක එකක් බවත් ඒ අනුව චීනයට ඉඩම් අක්කර ගණනාවක් එකවර දීමට අවශ්‍ය වුවහොත් මෙම පනතින් බිහිවන සුපිරි බලතල සහිත ඇමතිවරයාගේ එක අත්සනක් ඊට ප්‍රමාණවත් බවත්ය.

මේ අතර ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුණෙන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර ඇති බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත් පත් කිරීමට නියමිත ඇමතිවරයාට හා නිලධාරියාට අතිවිශේෂ බලතල ලබාදීමට නියමිත බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති බලතල ඉක්මවා යන ආකාරයට මෙම පත්කිරීම් සිදුකරන නිසා ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මීට අමතරව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad