බුදු පිළිම හා විහාරස්ථාන ඉවත් කරන්නැයි උතුරේ වැසියෝ වීදි බසිති (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 22, 2016

බුදු පිළිම හා විහාරස්ථාන ඉවත් කරන්නැයි උතුරේ වැසියෝ වීදි බසිති (PHOTOS)

බුදු පිළිම හා විහාරස්ථාන ඉවත් කරන්නැයි උතුරේ වැසියෝ වීදි බසිති (PHOTOS)

යුද සමයේදී අතුරුදහන්වූවන් සොයා දෙන ලෙසත් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙසත් උතුරේ අලුතින් ඉදිකෙරෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීම හා ආරක්ෂක අංශ සතුව ඇති ඉඩම් නිදහස් කිරීම යන කාරණා ඉටුකරන ලෙසත් ඉල්ලා අද (22) කිලිනොච්චි ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

කිලිනොච්චි ග්‍රාම සංවර්ධන සමිතිය හා සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර කිලිනොච්චිය උමයාල්පුරම් සිට කිලිනොච්චි නගර මධ්‍යයට උද්ඝෝෂකයින් විරෝධතා පාඨ කියමින් පැමිණියහ.

මෙහිදී උද්ඝෝෂකයින්  කියාසිටියේ යුද්දයේදී අතුරුදහන් වූවන් පිළිබඳ තමන්ට මෙතෙක් කිසිදු පිළියමක් නොලැබුනු හෙයින් රජය පොරොන්දු කඩ කරන බවයි.

එමෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බවත් විදෙස් විනිසුරුවරුන් නොමැතිව සිදු කරන පරික්ෂණ තමන්ට විශ්වාශයක් නොමැති බවත් ඔවුන් පැවසීය.

මේ අතර දැනට ආරක්ෂක අංශ සතුව ඇති සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම් ඉතා ඉක්මනින් නැවත මුල් පදිංචිකරුවන්ට ලබා දිය යුතු බවත් ඉඩම් නොමැතිව මුල් පදිංචිකරුවන් දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවක් කියාසිටියේය.

උද්ඝෝෂකයින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට කිලිනොච්චියේ මෙන්ම උතුරු පලාත තුල අලුතින් ඉදිකෙරෙන බෞද්ධ පිළිම ඇතුලු විහාරස්ථාන ඉවත් කිරීමට ද රජය පියවර ගත යුතු බවයි.

මෙම උද්ඝෝෂණයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් මහතා හා එස්. සිවමෝහන් මහතා යන අයද සහභාගී වූ අතර ඔවුන් උද්ඝෝෂකයින්ට ප්‍රකාශ කළේ අදාල ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad