'සටන් පාඨවලට රට ගොඩනඟන්න බෑ' - පාඨලී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 22, 2016

'සටන් පාඨවලට රට ගොඩනඟන්න බෑ' - පාඨලී

'සටන් පාඨවලට රට ගොඩනඟන්න බෑ' - පාඨලී

සටන් පාඨවලට මෙරට ගොඩනැඟීය නොහැකි බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව 1948 වසරේදී නිදහස ලබන විට කොළඹ වරාය ලෝකයේ 05 වෙනි ස්ථානයේ පැවති බවත් අද වනවිට එය 26 වෙනි ස්ථානයට පසු බැස ඇත්තේ සටන්පාඨ නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අද (22) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉහළ වාණිජ වටිනාකමකින් යුත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීමට පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කොළඹ කේන්ද්‍ර කරගෙන බස්නාහිර පළාත මහා නගරයක් හැටියට නිර්මාණය කරන්න. වරාය ආශි‍්‍රතව, ගුවන්තොටුපල ආශ‍්‍රිතව ඒ වගේම මූල්‍ය නගරයන් ලෙස. විශේෂයෙන්ම අද ලෝකයේ මූල්‍ය නගර ලෙස අතීතයේ ගොඩනැගිච්ච ලන්ඩනය, නිව්යෝර්ක් නගරය මෙන්ම නූතන කාලයේ ගොඩනැගිච්ච හොංකොං, සිංගප්පූරුව සහ ඩුබායි ආදර්ශය අරගෙන ඊටත් වඩා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි අනිත් නගර පිළිබඳවත් විධිමත් වැඩපිළිවෙලක් ගෙනියනවා.

අපේ පදනම වී තිබෙන්නේ අපේ ජාතික භෞතික සැලැස්ම. ඒක නැවත අපි සකස් කර ලබන වසරේ ඉදිරිපත්  කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට සාපේක්‍ෂව අපි හම්බන්තොට ඒ වගේම ගාල්ල, මහනුවර ඒ වගේම අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය යන සංස්කෘතියක ති‍්‍රකෝණය, ඒ වගේම යාපනය මේ ආදී ප‍්‍රදේශ විධිමත්ව සංවර්ධනය කරන්න, විධිමත් නාගරික සැලසුමක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපගේ සැලසුම් විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබෙන ඉඩම් සම්පත සහ අපගේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩම් සම්පත මේ සම්බන්ධයෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි මේ අවස්ථාවේදී  කතා කරන්නේ.

සටන් පාඨවලට මේ රට ගොඩනගන්න බැහැ. ඒක පැහැදිලියි. 1948 අපට නිදහස ලැබෙන වෙලාවේ කොළඹ වරාය ලෝකයේ පස්වෙනි ස්ථානයේ පැවතුනේ. අද ඒක විසි හයවන ස්ථානයට පසු බැසලා තියෙනවා. ඒ සටන් පාඨ නිසා. ඒ වගේම මැද පෙරදිග අපේ සහෝදරියන් විශාල පිරිසක් සේවය කරනවා. ඒ අය පිළිබඳව නොයෙක් සටන් පාඨ ඇහුනත් ඒ අය නැවත මේ රටට ගෙන්වාගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපේ සම්පත, අපේ ඛණිජ සම්පත, අපේ තෙල් හා ගෑස් සම්පත ඒ වගේම අපේ මැණික් සම්පත, අපේ තේ සම්පත සහ අපගේ ආහාර සම්පත පරිහරණය කරමින් යොදා ගනිමින් මේ රට වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් තරඟකාරීව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

අපි මේ කලාපයේ ස්ථාවරම රට. ආරක්‍ෂකමය පැත්තෙන්.ඒ වගේම දේශපාලනමය පැත්තෙන්. ඒ වගේම සමාජමය පැත්තෙන්, ස්ථාවරම රට. ඒ නිසා  ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ ආයෝජනය කිරීමේ හැකියාව, ලැබෙනවා. මේ විසිඑක්වෙනි සියවස ඉන්දියානු සාගරයේ සියවස, ඒ ඉන්දියානු සාගරයේ හරිමැද ඉන්න අපි නැගෙනහිර අප‍්‍රිකාවේ සිට මැදපෙරදිග ඒ වගේම දකුණු ආසියාව, ඒ වගේම බටහිර ආසියානු රටවල්, ඉන්දුනීසියාව,  ඕස්ටේ‍්‍රලියාව දක්වාම මේ හැම රටකම ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය, වාණිජ මධ්‍යස්ථානය බවට මේ රට පරිවර්ථනය කරන්න අපි ඉදිරි කාලයේ අධිෂ්ඨානයකින් යුතුව කි‍්‍රයාකරන බව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරමින් එහි ඔබ හුදු සාක්ෂි කරුවෙක් නොවී එහි හවුල් කරුවෙකු වෙන්නයි ඔබ හැමටම ආරාධනා කරනවා." යි පැවසීය.

මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad