සිරිසේන අරන් තියෙන්නේ ඇම්බැට්ට වැඬේට විතරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

සිරිසේන අරන් තියෙන්නේ ඇම්බැට්ට වැඬේට විතරයි..

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සහ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන අතර අත්සන් තබන ලද එකගතා ගිවිසුමෙන් පෙනි යන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ‘ඇම්බැට්ට කාර්යයකට’ පමණක් යොදවා ඇති බව යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ධර්මපාල පුරපුරේ සභාපති මණ්ඩල සාමාජික, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි එසේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමිපාණෝ මෙසේද අදහස් දැක්වූහ.
‘අපේ රට අද වන විට ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. බලවත් බටහිර රටවල් විසින් ලොව බලවත්ම ත‍්‍රස්තවාදය යැයි නම් කරපු කොටි ත‍්‍රස්තවාදයෙන් අපේ රට නිදහස් කර ගැනීමට මේ රටේ එක් අභීත නායකයකුගේ මග පෙන්වීමෙන් වීරෝදාර රණවිරුවන්ට හැකි වුණා. 

ඒ විදියට මේ රට නිදහස් කර ගැනීම, තමන්ට සිදු වූ මහා අවමානයක් විදියටයි ඒ බටහිර රටවල් හිතුවේ. තමන්ට සිදු වූ අවමානය නැතිකර ගැනීමේ එකම මග විදියට මේ අය දකින්නේ, ඒ අවමානය කරන්න මුල් වූ මහින්ද රාජපක්‍ෂ නැමති නායකයා යුද අපරාධ අධිකරණයට රැගෙන ගිහිල්ලා ඔහුගේ ජීවිතය නැති කිරීම, ඒ වගේම මේ රට අද දවසේ භුක්ති විඳින සාමකාමී වටපිටාව විනාශ කිරීම.

ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය වැනි බලවත් බටහිර රටවල් අප වැනි රටවල් දකින්නේ ‘නොදරුවන්’ ලෙස. ඔවුන් මේ ‘නොදරුවන්ට’ දග කරන්න දෙන්නේ නැහැ. කුඩා රටක් තමන්ගේ ප‍්‍රශ්නයක් විසඳා ගත්තොත් ඒ අය මුලින්ම කරන්නේ අනතුරු හගවන එක. ඊට පස්සේ ‘කන්න දෙන්නෙ නැහැ. 

බොන්න දෙන්නෙ නැහැ’ කියමින් නොයෙකුත් සම්බාධක පනවනවා. නමුත් ඒ දේවලින් මට්ටු නොවන කොට තරවටු කරනවා. එහෙමත් බැරි වුණොත් දඩුවම් කරනවා. ඒ කිසිවකින් මට්ටු නොවුණොත් අවසානයේදී මරා දමනවා.

අපට මතකයි, යුද ජයග‍්‍රහණයෙන් මාස කිහිපයකට පසුව එනම් 2010 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරදවන්න කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් යෙදවූයේ කවුද කියා. නමුත් ඒ සැලසුම හරි ගියේ නැති නිසා 2015 ජනාධිපතිවරණයේදීත් වෙනත් ආකාරයකින් ඒ අය තමන්ගේ උවමනාව ඉටු කර ගන්න හදන බව ඉතා පැහැදිලියි.

කවර මොහොතක, මේ සිංහල – බෞද්ධ රට, මේ පිං බිම නසන්න කවර බලවේග එකතු වුවත් ඒ බගවේගවල පවිටු උවමනාවන් වැනසී යන සාධකයක්ද ඒ සෑම මොහොතකම මතු වූවා. මේ ‘මෛත‍්‍රීපාල සිරිසේන – රනිල් වික‍්‍රමසිංහ’ එකගතා ගිවිසුමද එවැනි සාධකයක්.

මේ ගිවිසුම මගින් ඉතා පැහැදිලිව පෙනෙනවා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව යොදා ගෙන තිබෙන්නේ ඇම්බැට්ටයකු ලෙස බව, තමන් වෙනුවට වෙනත් අයකු යොදවා තම උවමනාවන් ඔහු ලවා ඉටු කර ගැනීමයි, ඇම්බැට්ටයකු මගින් සිදු කරන්නේ. බලන්න, මේ ගිවිසුමෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියනවා, තමන් ජනාධිපති වෙලා පැය 24කින් රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති ධුරයට පත් කරන බව. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් කෙනාටනේ අගමැති ධුරය ලැබෙන්නේ. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමහරවිට ඒක නොදන්නවා ඇති. ඒ වගේම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සිදු කරන කාර්යයන් රැසක්ද මෙහි තිබෙනවා. එජාප මහ ලේකම්වරයකු වූ චරිත රත්වත්තේ මහතාට ජනාධිපති ලේකම් ධුරය ලබාදීම, ආරක්‍ෂක අමාත්‍ය ධුරය හැර අනෙකුත් ප‍්‍රධානතම අමාත්‍ය ධුර 20ක් එක්සත් ජාතික පක්‍ෂයට ලබා දීම ආදී වශයෙන් වන එකගතා දෙස බැලීමේදී පුංචි දරුවකුට වුවත් තේරුම් යනවා, රනිල් වික‍්‍රමසිංහ මහතා, මෛත‍්‍රීපාල සිරිසේන මහතාව ඇම්බැට්ට කාර්යයකට පමණක් යොදවා ගෙන ඇති බව.

මේ එකගතා ගිවිසුමේ තිබෙන ඉතාමත් බරපතළ එකගතාවක් තමයි, ‘උතුරු පළාතේ ස්ථානගත කර සිටින හමුදා භටයන් ගණන 50%කින් අඩු කිරීම’ කියන්නේ. යුදමය ක‍්‍රියාමාර්ගයකින් කොටි සංවිධානය පරාජය කළත් එය ලෝකයේ විවිධ තැන්වලින් යළි යළිත් හිස ඔසවන අයුරු දකින්න ලැබෙනවා. මේ ගිවිසුම පුරාම දක්නට ලැබෙන්නේ කොටි සංවිධානයට යළි පණ දීමට ගන්නා උත්සාහය. මේක අපේ රටේ අවශ්‍යතාවක් නොවෙයි ජාත්‍යන්තර අවශ්‍යතාවක්.

ඒ වගේම මෙහි සඳහන් වෙනවා, 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් පිළිබඳවත්. මෙවැනි පවිටු උවමනාවන් ඉටු කිරීමට යාම තුළ ජාතික සමගියට කුමක්ද වෙන්නේ? මේ ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය සැමදාම මේ රට ලේ විලක් ලෙස තබා ගැනීමටයි. මෙවැනි ගිවිසුමක් අත්සන් කර තිබෙන අවස්ථාවක ජනාධිපතිතුමන් හා රජය නිහ`ඩව නොසිටිය යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හානි සිදු වන ගිවිසුම් කවුරුන් හෝ අත්සන් කර තිබෙනවා නම් ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි. ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි. 

මේවා සුළුවෙන් සැලකිය යුතු දේවල් නොවෙයි. ඡන්ද රැස්වීම්වලදී ජනතාව රවටන්න ‘මහින්ද රාජපක්‍ෂ හේග් නුවරට ගෙන යන්න දෙන්නේ නැහැ’ කියන සිරිසේන මහත්තයා මේ ගිවිසුම මගින් එකග වෙනවා, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලූ නිර්දේශ ඉටු කිරීමට. රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන තවත් වගන්තියක් මෙහි තිබෙනවා. 

මේ රටේ වීරෝදාර ආරක්‍ෂක හමුදාවෝ මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ වගන්තිය තමයි, ‘යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40%කින් කපා හැරීම’ කියන එක. මේ කියන්නේ රණවිරුවන්ට ලබා දෙන පහසුකම් කප්පාදු කරන බව නොවේද? මෙහි පවතින ‘රාජ්‍ය අංශයට අසීමිත බඳවා ගැනීම් භාණ්ඩාගාරයට දැවැන්ත බරක් වී ඇති හෙයින් රාජ්‍ය සේවයට අලූතින් බඳවා ගැනීම් වහාම අත්හිටුවා දේශපාලන වශයෙන් ලබා දුන් සියලූ පත්වීම් සහ උසස්වීම් වහාම අවලංගු කිරීම’ යන එකගතාවද මේ රටේ සියලූ ජනතාවගේ අවධානයට යොමු විය යුත්තක්.

මේ ගිවිසුම මගින් රට පාවාදීම, රට අස්ථාවර කිරීම, රටේ පොදු ජනතාවට විශාල අලාභ හානි සිදු කිරීම, යන සියල්ල සිදුව තිබෙනවා. ‘මේ දෙස සරලව බලන්න එපා’ කියා අපි මුළුමහත් ජාතියෙන් ඉල්ලා සිටිනවා’’
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,

‘විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක, මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අත්සන් කළ එකගතා ගිවිසුම ඊයේ(22) එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් අනාවරණය කරනු ලැබුවා.
මෛත‍්‍රී – රනිල් ගිවිසුමක් ලෙස පෙනුණාට එය ගැඹුරින් සලකා බැලූ විට ඉතා පැහැදිලියි, එය විජාතික බලවේග හා මෛත‍්‍රීපාල සිරිසේන අතර ඇතිවූ ගිවිසුමක් බව. මෙහි ඉතාම භයානක එක`ගතාව කුමක්ද? ඒ තමයි, එකගතා ගිවිසුමේ 2.7.3 වගන්තිය. 

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ලම ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම’ කියලයි ඒ වගන්තියේ සඳහන් වෙන්නේ. එය මෛත‍්‍රී – රනිල් එක`ගතා ගිවිසුමකට අදාළ එකක් නොවෙයි. මේක තනිකරම රටට හතුරු විජාතික බලවේගවල මනදොල සැපිරීම පිණිස මේ අය ඇතුළත් කළ වගන්තියක්.

මෙවැනි පොරොන්දුවක් මගින් මෛත‍්‍රීපාල සිරිසේන අන්තර්ජාතික බලවේගවලට කියන්නේ කුමක්ද? තමන් බලයට පත් වුණාට පසුව, මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් හේග් නුවර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන බව මිසක් වෙන කිසිවක් නොවෙයි. තමන්ගේ කුලී සේනාංකය පැරදවීමේ පලිය මේ ආණ්ඩුවෙන් ගන්න බලාගෙන ඉන්න, විජාතික බලවේගවල උවමනාව ඉටු කිරීමටයි මේ සිරිසේන මහතා සූදානම් වී සිටින්නේ.

ඒ විදියට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන අතරේ යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්‍ෂණයක් සිදු කරලා ඒ නිර්දේශ සාධාරණීකරණය කරන්නත් මේ සිරිසේන මහතා එකග වෙලා තිබෙනවා. ඒ එකගතාව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය මගින් අනාවරණය වී තිබෙනවා. 

ඉදිරි ජනාධිපතිවරණයේදී මේ සියලූ කරුණු ඉතාමත් හොඳින් තේරුම් ගෙන ඒවාට නිසි පිළිතුරු දීමට ජනතාව තීරණය කළ යුතුයි’’
මෙම මාධ්‍ය හමුවට දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද සහභාගී වූහ.

– ජාතික සංවිධාන එකමුතුව

No comments:

Post a Comment

Post Bottom Ad