හොර ගිවිසුම ව්‍යාජ එකක් බව මෛත්‍රී පැහැදිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

හොර ගිවිසුම ව්‍යාජ එකක් බව මෛත්‍රී පැහැදිලි කරයි

තමන් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිම ගිවිසුමක් අත්සන් කර නැතැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23 දා) පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඊයේ කොළඹදී ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අතර එහිදී පැවැති සුහද සංවාදය අතරතුරදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා පෙරේදා (22දා) එජනිස මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ පරිදි තෛ‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් ගිවිසුමක් තිබේදැයි ව්‍යාපාරිකයෙක් මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා පෙන් වූ එම ව්‍යාජ ලියවිල්ලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර ජනතාව දැනුවත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය කොතරම් බංකොලොත්දැයි මෙවැනි ව්‍යාජ ක්‍රියාවලින් හෙළිවන බවත් ඒවා ඉතා අසත්‍ය බවත් ඒ මහතා කීය.

මෙවැනි ගිවිසුම් හෝ අසත්‍ය ලියවිලි ආණ්ඩුව ඉදිරියේදීත් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි අසත්‍ය ප්‍රකාශ නොකොට තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ජනාධිපතිවරයාට නැවත අභියෝග කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර තිස්ස අත්තනායක මහතාට පක්ෂයේ ලේකම්ධුරය සහ ඇමැති ධුරයක් ලබා දීම පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

අකිත පෙරේරා
yminister.com

No comments:

Post a Comment

Post Bottom Ad