රනිල්ගෙ මුළු ඇගේම මයිල් ගහක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

රනිල්ගෙ මුළු ඇගේම මයිල් ගහක් නෑ

වත්මන් ආණ්ඩුව විදේශ සේවාවලට පත්කර තිබෙන්නේ සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන් බව විරුද්ධ පක්ෂය විසින් පිළිගෙන තිබෙන බවත් ක්‍රිස් නෝනිස් මහතා දක්ෂ නිලධාරියෙක් බව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කිරීමෙන් ඒ බව මනාව සනාථ වන බවත් ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

ඒ මහතා මේ අදහස් පළ කළේ, වසර 32කට පසු රුපියල් මිලියන 13.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අළුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම උත්සවය එම නිවාස ව්‍යාපෘතියේදී පැවැත්විණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා, ‘‘එදා මේ රටට ජාතික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒත් අද එහෙම කියන්න ජාතික ප්‍රශ්නයක් නැති නිසා සජින් නෝනිස් රාත්‍රී සාදයේ සිදු වූ ගැටුම ජාතික ප්‍රශ්නයක් බවට පෙරළාගෙන තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකතුමා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී නෝනිස් මහත්මයත් දේශපාලන පත් කිරීමක් කියලා එතුමගේ නමත් එහි සඳහන් කළා. එදා එම කතාවේ දී චෝදනා කළා, ජනාධිපතිතුමා විදේශ තානාපති සේවයට රටේ සිටින ප්‍රවීණ වැදගත් පුද්ගලයින් පත්කර හරින්නේ නැතිව තමන්ගේ හෙන්චයියලා යවනව කියලා. 

හෙන්චයියලා කියල කියපු නම් ලැයිස්තුවේ නේනිස් මහත්තයගේ නමත් තිබුණා. හැබැයි නෝනිස් මහත්තයයි සජින් මහත්තයයි බහින්බස් වුණාම නෝනිස් මහත්තය ජාතික වීරයෙක් බවට පත්වෙනවා. සජින් මහත්තයා ද්‍රෝහියෙක් බවට පත් කරනවා. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කර ගැනීමක් නොවෙයි ද මේ.

එදා කිව්වා තානාපති සේවයේ ස්වාධීන පත්වීම් ඉවරයි. බහුතරය තියෙන්නේ දේශපාලන පත්වීම් කියලා. එතන දි ක්‍රිස් නෝනිස් මහත්තයගේ නමත් කියවුණා. එහෙත් අද කියනවා ක්‍රිස් නෝනිස් මහත්තයා මෙහෙම කරල තියනාව එතුමා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බොහොම කැපවීමෙන් වැඩ කළ කෙනෙක් කියලා. ඔවුන් එහෙම කියන්නෙත් ඒ කටවල් වලින්මයි.

එහෙම නම් ඇයි එදා ඒ කියපු ලැයිස්තුවට ක්‍රිස් නෝනිස් මහත්තයගේ නම ඇතුළත් කළේ. එයින්ම පැහැදිලි වෙනවානෙ විදේශ අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් පිට දේශපාලනික වශයෙන් යමෙකු පත් කළා නම් ඒ පත් කර තියෙන්නේ සුදුසු අයයි කියන බව විරුද්ධ පක්ෂය වක්‍රාකාරයෙන් පළිගත් බව. ඇයි ඒ ගොල්ලො කියනවනෙ එතුමා හොඳ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල. 

ඒකෙන් පේනවනෙ හොඳ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයොයි ඔය කියන පත්වීම් අනුව යවල තියෙන්නෙ කියල. යුද්ධය අවසන් වූ කාලෙ ඉඳලම මේ රටේ කකුලෙන් අදින දේවල් මිසක් වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ දවස්වල යුරෝපා සංගමය මේ රටේ ඇඟලුම් කර්මාන්තයට දීල තිබුණු සහනාධාර කැපුවා. එහෙම කපලා බය කරන්න හැදුවා. 

එදා යුරෝපා සංගමය දීපු සහනාධාරය කැපුවහම එක්සත් ජාතික පක්ෂය කිව්වා දැන් ඉතින් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා ඉවරයි කියලා. එහෙම වුණේ නැහැ. යුරෝපා සංගමයේ ඊනියා සහනය නැති වුණාට මෙ රටේ ඇඟලුම් කර්මාන්තය දනින් වැටුණෙ නැහැ. අපේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පුළුවන් වුණා අපේ රටේ ඇඟලුම්වල තියන ගුණාත්මක වටිනාමක නිසා යුරෝපා සංගමය මොන බාධකය දැම්මත් ඒ වෙළඳපොළට යන්න. 

ඒකෙන් පාඩමක් ඉගෙන නොගත් යුරෝපා සංගමය දැන් හදනවා මේ රටේ ධීවරයා ඉදිරි මාස තුන ඇතුළෙ අල්ලන මත්ස්‍ය සම්පත යුරෝපා රටවල්වල අලෙවි කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරන්න. දැන් ළඟදි ජනාධිපතිවරණයක් එන නිසා ඊට කලින් ධීවර ජනතාව ආණ්ඩු විරෝධී මතවාදයකට ගේන්නයි ඔවුන් මේ කතාව ගෙන එන්න හදන්නෙ. 

ඔවුන් නගන චෝදනා තමයි අනවසර මසුන් ඇල්ලීම කියන චෝදනාව. වසරකට රුපියල් බිලියන 22 ක් පමණ වටිනාකමකින් යුත් මත්ස්‍ය තොගයක් අපි යවනවා යුරෝපා සංගමයට අයත් රටවල්වලට. දැන් කියනවා එහෙම වුණොත් යුරෝපා සංගමයේ රටවල්වලට ලංකාවේ මාළු ගේන්න දෙන්නෙ නැහැ, මාස තුනෙන් තීන්දුව ගන්නවා කියලා.
මේ හදන්නෙ මොකක්ද. 

එක එක ජන කණ්ඩායම් බය කරල එක එක ජන කණ්ඩායම්වලට අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්න. එදා යුරෝපා සංගමයේ කෝටා එක නැති වුණාට ඇඟලුම් කර්මාන්තයට වෙළඳපොළ අහිමි වුණේ නැහැ වගේ මෙ රටේ ධීවරයින්ට තිබෙන අවස්ථා අහිමි කරන්න මොන සංගමයකටවත් බැහැ. හැබැයි තේරුම් ගතයුතු කරුණ මෙයයි, බටහිර රටවල් මේ සේරම කරන්නේ ඔවුන්ට අවශ්‍ය වර්ගයේ ජොකියෙක් අපේ රටේ පාලනයට ගෙන එන්න.

මුස්ලිම් ජනතාව හොඳට ඇස් ඇරලා බලන්න බටහිර ගැති නායකයො බලයට පත්වූ ලෝකෙ කිසිම රටක් ඉදිරියට ගියේ නැහැ. ඒ රටවල් පස්සට තමයි ගියේ. බටහිරට ගැති නායකයො ආපු හැම රටකම බටහිරට කත්අදින ගමනක් මිසක් ඒ රටට අනන්‍ය වූ ගමනක් ගියේ නැහැ.
ඉන්දියාවෙ මෝදි අගමැතිතුමා එන්නෙ වෙනත් ආකාරයේ නායකයෙක් හැටියට. එතුමාට මුස්ලිම් ජනතාවට පහර දුන්නා කියන චෝදනාවකුත් තියෙද්දී තමයි එතුමා එන්නේ. 

එහෙත් ඉන්දියාවෙ මුස්ලිම් ජනතාව මෝදි අගමැතිතුමත් එක්ක අත්වැල් බැදගත්තා. ඒ නිසා අද මෝදි අගමැතිතුමා හින්දුන්ගෙ අගමැති පමණක් නොවෙයි. එතුමා ගන්න හැම තීරණයකදීම අද එතුමාට හිතන්න වෙලා තියෙනවා එතුමාට ඡන්දය දුන් මුස්ලිම් ජනතාව ගැනත්. ඒ නිසා ඉන්දියාවෙ ජනතාව ඉතා බුද්ධිමත්වයි තීරණය ගත්තෙ. 

ෆවුසි අමාත්‍යතුමා දැන්  මොහොතකට  පෙර ප්‍රකාශ කළා වගේ දුවන  කොන්ග්‍රස් කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව, මෝදි අගමැතිතුමා වෙනුවෙන් ගහපු අවලාදත් පිළිගන්නේ නැතුව මෝදි අගමැතිතුමා එක්ක අත්වැල් බැගත්තා. අද ඉන්දියාවෙ ගමන අළුත් ගමනකට යනවා නම් ඒ ජයග්‍රහණ මත පදනම්වෙලයි  ඒ ගමන යන්නෙ.

මම දැක්කා අකිල විරාජ් කියන රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කුළුපගු ගෝලයා කියලා තිබුණා දැන් මේ රට පාලනය කරන්නේ  ගමේ බයියෙක් කියලා. එයාට අනුව අර කොළඹ කුල්ටූර් පැලැන්තියෙ ජාතික ඇඳුම අදින්නෙත් නැති කෙනෙක් තමයි ජනාධිපතිතුමා වෙන්න ඕන. උඩු රැවුලක් නැති. මුළු මූණෙම මයිල් ගහක් නැති. 

මුළු මූණෙම නෙමෙයි මම හිතන්නේ ඇගේ කොහේවත් නැති. ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන. මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන, ඒක කාවදාවත් ඇඟට ජීරණය නොවිච්ච, කෙනෙක් තමයි ඒ අය කියන විදිහට ජනාධිපති විය යුත්තේ. මම කලිනුත් කියලා තියෙනවා ලන්සි පැපොල් මොඩලයේ නායකයෙක් තමයි ඔවුන් හොයන්නේ. 

මේ නිවාස ව්‍යාපෘතියේ සිටින නිවාස වැසියන් වන ඔබගේ ප්‍රශ්නය ඒ ජාතියේ නායකයෙකුට කිව්වානම් ඔහු දුක අසයිද? එයා නිකං මඤ්ඤං වෙයි නේද? ටෙරිබල් කියලා කියන එකක් නැද්ද? ඉහළ පැලැන්තියෙ නායකයන්ට මේ සාමාන්‍ය දුක්විදින ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ. ඒ නිසානෙ එයාලට යුද්ධය කරන්න ධෛර්යක් නැතිවුණෙ. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුණා ඔවුන්ට නොතිබුණු ධෛර්යක්. ඒකට හේතුව  ඉහළ කුල්ටූර් පැලැන්තියෙන් හැදෙන බබාලට අභියෝගයකට මුහුණදීලා ඒවා ජයගන්න හැකියාවක් නැහැ. අභියෝග නිර්භීතව බාරගෙන ඒවා සාර්ථකව ජයගැනීම ඔවුන්ගේ ජීවිතය ඇතුළෙම පුරුද්දක් නැහැ. නැති ඒවා දෙන්න බැහැ. 

වික්‍රමසිංහ මහත්තයගෙ ඇඟ දිහා බැලුවහම ඒක පේනවා. ඒත් එක්තරා කුල්ටූර් පැලැන්තියක් අතට මේ රටේ සුක්කානම ඔවුන් හදනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාට ගමේ බයියෙක් කියලා සරදම් කරන්නේ.
කුල්ටූර් පැලැන්තිය අතට බලය අරගෙන නිකන් ඉන්න නොවෙයි. උතුරු පළාත් සභාවට 13 වන සංශෝධනයේ පොලිස් බලයත් එක්ක සම්පූර්ණ බලතල දෙන්න. 

උතුරට පොලිස් බලතල දුන්නොත් උතුරේ මුස්ලිම් ජනතාවට සනීපවෙයි. මුස්ලිම් ජනතාවට විතරක් නොවෙයි දෙමළ ප්‍රභූ නොවන මිනිහටත් එරෙහිවන   පොලිසියක් බවට ඒ උතුරු පළාතේ පොලිසිය පත්වෙනවා. ඒක දෙමළ ප්‍රභූ පැලැන්තියේ පොලිසියක් වෙනවා. මම හිතනවා මේ කියන කාරණය ඔබට තේරෙයි කියලා. 

අද උතුරේ පරිපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන් දෙමළ ප්‍රභූ පැලැන්තිය  අල්ලලා තියෙන්නෙ. ඒ ප්‍රභූ පැලැන්තියට අයත් නොවන දෙමළ ජනතාව අද විශාල පීඩනයකින් තමයි  උතුරේ ජීවන්වෙන්නේ.

13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. අන්න අද පිටවුණ “ අද ” කියන පුවත්පතේ ඒ ප්‍රවෘත්තිය තියෙනවා. ඒ කියන්නේ උතුරට පොලිස් බලතල දෙනවා කියන එක. ඉන් ප්‍රභූනොවන දෙමළ ජනයා හා සිංහල මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙනවා. 

මේ රටට ඕනෙ වෙනස ඒකද? බෙදුම්වාදයට කත්අදින ගමනක්ද මේ රට ඉල්ලන්නේ. දිනපු ජයග්‍රහණ ආපස්සට හරවන ගමනක් ද මේ රට ඉල්ලන්නේ. රට දිනාගත් ජයග්‍රහණ රැකගෙන  වියයුතු යහපත් වෙනස්කම් කරගෙන පොදු ජනතාවගේ බලා පොරොත්තු සඵල කරන ගමනක් 2005 සිට අපි  ආවා. ඒ ගමනේ අඩුපාඩු හදලා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන ගමනක් අවශ්‍යයි. 

ඒ වෙනස කරන්නෙත් හැකි වෙන්නේ වෙන කාටවත් නොවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි. මෙහිදී අමාත්‍යවරයා රජය විසින් බඩු මිල අඩුකිරීම හා අරක්කු, සිගරට් මිල වැඩිකිරීම ගැනත් මෙසේ අදහස්   දැක්වීය.“  25% ක් විදුලි බිල අඩුකිරීමේ වාසිය එන්නේ කාටද? ගෑස් මිල අඩු කිරීමේ වාසිය එන්නේ කාටද? දැන් මොන භාණ්ඩය අඩු  කළත් විරුද්ධ පක්ෂය කියන්නේ ඡන්දය නිසා බඩු මිල අඩුකරනවා කියලා. 

ඉතිං සිගරට්, අරක්කු මිල වැඩි කළා. දැන් සිගරට් අරක්කු  බොන පිරිස අඩුද? වැඩිද? ඉතිං එහෙම එකක් වැඩිකිරීම ඡන්දයට හොඳද? නරකද? ඡන්දෙට ඒක පාඩු වෙන්නත් පුළුවන්. ඒකෙන් පේනවනෙ ඡන්දය අනුව ද මේකෙ මිල තීරණය කරල තියෙන්නේ කියලා. ගෑස් බැස්සුවහම කියනවා ඡන්දෙට කළා කියලා. ඒත් සිගරට් අරක්කු මිල වැඩි කළාම නිකන් දන්නෑ වගේ ඉන්නවා. 

ඒ ගැන කටක්වත් අරින්නේ නැහැ.මට අද ගුවන්විදුලි වැඩසටහනකට සවන් දෙන ගමන් දැන ගන්න ලැබුණා. මේ කලාපයේ නිරාහාරව සිටින ජනතාවගේ ප්‍රතිශතය අඩුම රට ශ්‍රී ලංකාව කියලා. ඉන්දියාවේ මේ තත්ත්වය මීට වැඩියි, බංගලාදේශයේ මීට වැඩියි, පකිස්ථානයේ මීට වැඩියි. නේපාලයේ මීට වැඩියි. ඒ අනුව දකුණු    ආසියාතික කලාපයේ බඩගින්න පිළිබඳ අඩුම අභියෝගය තිබෙන රට ශ්‍රී ලංකාව. 

දකුණු ආසියාතික කලාපයේ 90% වඩා වැඩිම විදුලි බල පරිභෝජනයක් තියෙන රට ශ්‍රී ලංකාව. තිබෙන නිවාසවලින් 81%ක් පමණ වැඩිම ස්ථීර නිවාස ප්‍රතිශතයක් තිබෙන මේ කලාපයේ රට ශ්‍රී ලංකාව. පානීය ජල පහසුකම් වැඩිම නිවාස ප්‍රමාණයකට ලබා දීල තියන මේ කලාපයේ ප්‍රමුඛ රටත් ශ්‍රී ලංකාවයි. ඒ අනුව මේ කලාපයේ අනික්  රටවල් සමග සාපේක්ෂව බැලුවොත් අධ්‍යාපනය, සාක්ෂරතාවය, සෞඛ්‍ය අතින්, නිවාසකරණය අතින්, ඒ වගේම අඩුම පැල්පත්කරණය අතිනුත් ඉදිරියේන ම සිටින රට ශ්‍රී ලංකාව¨ යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ නාගරික කටයුතු පිළීබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා “ ඒ දවස්වල ප්‍රේමදාස මහත්තයගේ නාම යෝජනාවලට අත්සන් කළේ බගේ බිරිඳගෙ තාත්තා. මගේ මාමාණ්ඩි. ඒ කාලේ අපි බොහොම සුහදව වැඩ කළා. මුස්ලිම් අපේක්ෂකයින් සිටියදීත් ජාතිභේද බලන්නේ නැතිව ප්‍රේමදාස මහත්තයව පළමුවන තැනට ගෙනාවා. 

ඉන්පසුව මම කොළඹ මහ නගර සභාවට ඉල්ලලා නගරාධිපති වුණා. එදා අද වගේ නගරාධිපති අපේක්ෂකයෝ නම් කරන්නෙ නැහැ. බහුතර කැමැත්තෙන් තමයි මම නගරාධිපති වුණේ. එතකොට ප්‍රේමදාස මහත්තය හිටියෙ මැද කොළඹ ආසනේ. මමත් ඉල්ලුවේ මැද කොඹින්. අනාගතයේ දි මම ප්‍රේමදාස මහත්තයට අභියෝගයක් වෙයි කියලා එතුමා හිතුවා. 

ඒ නිසා මට පක්ෂයෙන් එළියට බහින තැනට වැඩ කළා. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මාත් එක්ක හිටියා. අන්තිමට එතුමා මට කිව්වා දැන්නම් මොකුත් කරන්න බැහැ ඒ මනුස්සයගේ කට මට ඒ තරම් වටිනවා කියලා.

ඒදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා බය වුණේ ප්‍රේමදාස මහත්තයගේ කටට. ඒත් විමල් වීරවංශ අමාත්‍යතුමා කියන්නේ ප්‍රේමදාස මහත්තයගේ කටට වඩා හොඳ කටක්.වෙනසකට තියෙන්නේ ප්‍රේමදාස මහතා කුණුහරුප කියනවා. වීරවංශ මහතා කුණුහරුප කියන්නේ නැහැ ”  යනුවෙන් ද පැවසීය.

නිවාස 73කින් හා වෙළඳසැල් 22 කින් අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය සමන්විත වේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ජනසෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ නගමු පුරවර ” පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්  මෙහෙයවන ලදී.

ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, සිවිලිම පිළිසකර කිරීම, දිරාගිය වඩිම්බු වැහිපීලි සහ ජල බස්නා නල අළුත්වැඩියා කිරීම,ගොඩනැගිලි බිත්ති, පොදු තරප්පු පෙළ අළුත්වැඩියා කිරීම, බිත්ති මත පැලෑටි ගලවා ඉවත් කිරීම, ආරුක්කුව පිළිසකර කර වර්ණාලේප කිරීම, නිවාස ඒකකවල පිටත ජල කාන්දුවීම් පිළිසකර කිරීම, ගොඩනැගිලි හා සම්බන්ධ මළ නාලිකා පද්ධතිය සහ අප ජල පද්ධති අළුත්වැඩියාව, වතුර ටැංකිය සහ ස්ලැබ් එක සහ අනෙකුත් වතුර කාන්දුවන ස්ථාන ජලරෝධනය කිරීම, ගොඩනැගිල්ලෙන් පිටත මනුවලවල් මළ නාලිකා පද්ධති සහ අප ජල පද්ධතිය පිළිසකර කිරීම, වැසි ජලය බැස යාමට කාණු පද්ධති සැකසීම, නිසි පරිදි කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාමාර්ග සැකසීම, ජල පොම්පාගාර සවි කිරීම, සියලු බිත්ති වර්ණාලේප කිරීම සහ ගේබල් බිත්ති ජලරෝධනය කිරීම, ආදී ප්‍රතිසංස්කරණ රැසක් මෙහිදී සිදුකර තිබේ.

– Con. media

NMD_6352 NMD_6300 NMD_6295

No comments:

Post a Comment

Post Bottom Ad