තව පොඞ්ඩෙන් ලංකාවෙ ජනාධිපති මං.. වික‍්‍රමබාහු කියන්නෙ රජෙකුගෙ නමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

තව පොඞ්ඩෙන් ලංකාවෙ ජනාධිපති මං.. වික‍්‍රමබාහු කියන්නෙ රජෙකුගෙ නමක්..

කිසිදු දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නොදැරුවද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වූ කලී ලංකා දේශපාලන වංශකතාවේ සුවිශේෂී චරිතයකි. 

වාමාංශික දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණද මහා පඩිවරයකු, ඉංජිනේරුවෙකු මෙන්ම එම ක්‍ෂේත්‍රය අරභයා ආචාර්ය උපාධිධාරියකු වන ඔහු හිටපු සරසවි කථිකාචාර්යවරයකුද වන්නේය.

ඔබට තියෙන්නේ රජවරයෙකුගේ නමක්?

ඒ විතරක් නොවේ වික්‍රමබාහු කියන නම තියෙන්නේ මට විතරයි. පරාක්‍රමබාහු, ගැමුණු, විජයබාහු වැනි රජවරුන්ගේ නම් තියෙන අය ඕනෑ තරම් සිටියත් වික්‍රමබාහු නම තියෙන කෙනෙක් මට තාම හොයා ගන්න බැරි වුණා.

කවුද ඔබට නම් තැබුවේ?

මගේ පියා. ඔහු නක්ෂත්‍රය ගැන දන්නා කෙනෙක්. වික්‍රමබාහු කියන්නේ නරක නමක්ලු. වස් තියෙන නමක් කියා මිනිස්සු මේ නම දාන්නේ නෑ. වික්‍රමබාහු නම තැබූ කෙනාට එම නම ගැළපෙන්නේ නැතිනම් ඔහුට මැරුම් කන්න වෙනවලු. ඇත්තටම වික්‍රමබාහු රජු එක දවසින් මැරුණා. 

තුන්වැනි වික්‍රමබාහු හිටියේ ගම්‍පොළ. ඔහු නම් සෑහෙන්න හොඳට හිටියා. අනෙක් වික්‍රමබාහුලාට මොනවා වුණාද කියලා මා දන්නේ නෑ. කොහොම හරි පියා මටත් වික්‍රමබාහු කියලා නම දැම්මේ එයාගේ ශාස්ත්‍රය අනුව ඒ නම මට ගැළපෙනවා කියලා. මම ඒ ශාස්ත්‍ර විශ්වාස කරන්නේ නැති වුණත් වික්‍රමබාහු යන නමින් මට අවැඩක් වුණේ නෑ.

ඔබගේ සම්පූර්ණ නම?

කරුණාරත්න වාසල මුදියන්සේලාගේ වික්‍රමබාහු බණ්ඩාර. ඔය නම පාවිච්චි කළොත් මිනිස්සු බලයි මොකක්ද මේ නම කියලා. මේ නිසා මම භාවිතා කරන්නේ වික්‍රමබාහු කරුණාරත්න කියලා. නමුත් මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ “බාහු” කියලා. මගේ වබේ අඩවියත් නම් කරලා තියෙන්නේ බාහු කියලා. හැමදෙනාම දන්නේ “බාහු සහෝදරයා” කියලා. ඒ විතරක් නොවේ අපේ ගෙදර සුරතලයට ඇති කරන ගිරවත් කෑ ගහන්නෙත් “බාහු සහෝදරයා” කියලා.

ඔබගේ දේශපාලන ජීවිතයට දැන් වයස කීයද?

අවුරුදු හතළිස් පහක් වෙනවා. මම ලංකා සම සමාජ පක්ෂයට බැඳුණේ එක්දහස් නමසිය හැට නවයේදී.

ඔබගේ වයස?

අවුරුදු හැත්තෑ දෙකක්.

උපන් දිනය ?

එක්දහස් නමසිය හතළිස් තුනේ මාර්තු අට වැනිදා.

ඉපදුණේ ?

බදුල්‍ලේ ලුණුගල ඉස්පිරිතා‍ලේ.

දුෂ්කර ප්‍රදේශයක ඔබ උපත ලැබිමට විශේෂ හේතුවක් තිබුණද?

අපේ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. ඒ කා‍ලේ විවාහක ජෝඩුවලට ඈත පළාත්වල ඉස්කෝල දියුණු කරන්න භාර දෙනවා. අපේ තාත්තයි අම්මයි ලුණුගලට ගිහින් ජීවත් වීමට කැමැති වූ නිසා ඔවුන්ටත් එහෙට මාරුවක් ලැබුණා. මේ නිසා මම ඉපදුණේ ලුණුගලයි.

ඔබගේ ගම කොහේද?

රැකියාව හේතුවෙන් අම්මා තාත්තා තැන් කීපයකට මාරු වූ නිසා අපි ගම් කීපයක හිටියා. නමුත් අම්මලාගේ පරපුරේ මුල්ගම බණ්ඩාරගම. කළුතර දිස්ත්‍රික්කයේ. මේ නිසා අම්මාගේ අදහසක් අනුව අපි මතුගම ගුරුදොළ පදිංචියට ආවා. අම්මාගේ ඥාතියෙකුට අයත් කටුගහහේන වලව්වේ ඉඩමක් අම්මාට ලාභයට හම්බු වුණා. ඒ ඉඩමේ තමයි අපේ ගෙදර හැදුණේ.

ඔබට සහෝදර සහෝදරියන් කීදෙනෙක් හිටියද?

අයියයි, අක්කයි, මමයි, නංගියි. අපි ඔක්කොම හතර දෙනයි.

ඔබේ පියා ?

මුදියන්සේ කරුණාරත්න. ඔහුගේ ගම උඩුනුවර. අපේ පියාගේ පියා ඒ කියන්නේ මගේ සීයාත් ගුරුවරයෙක්. ඔහු මුදලිහාමි කරුණාරත්න. සීයා උගන්වන ඉස්කෝ‍ලේ බලන්න රටේ මහත්තයා එන නිසා ඔහු පිළිගන්න තොරන් ගහන්න කියලා සීයාට කියා තිබෙනවා. 

රාජකාරියට එන අයෙකු පිළිගන්න තොරන් ගහන්න ඕනේ නෑ කියලා සීයා කීවාම ඒකට ගිරිහාගම රටේ මහත්තයාට තරහ ගිහිල්ලා. ඒ කා‍ලේ අපේ සීයාවගේ පෙරළිකාරයන්ගෙන් පළිගන්න ඕන වුණාම කරන්නේ මැ‍ලේරියාව හැදිලා මැරෙන්න කියලා රජරටට මාරු කරන එක. 

සීයා මාරුව භාර ගන්නේ නැතිව ගුරු වෘත්තියෙන් අස්වෙලා නුවර පළාතේ ‍පොලිස් ආරච්චි ලෙස පත්වුණා. ඔහුට පත්වීම දුන් ආණ්ඩුකාරවරයාගේ ලිපිය මා ළඟ තවමත් තියෙනවා.

අම්මාගේ නම?

විමලා කොතලාවල. ඇගේ ගම අත්තිඩිය.

ඔබගේ මව සර් ජෝන් කොතලාවල පරපුරේ ඥාතියෙක්ද?

ඔව් මගේ ආතා (මවගේ පියා) ඇලෙක්සැන්ඩර් කොතලාවලයි. ඔහුගේ අයියා තමයි ජෝන් කොතලාවල (‍‍‍ජ්‍යෙෂ්ඨ). නෙයිනගෙ සූදු ‍පොළ වටලා ප්‍රසිද්ධියට පත් ‍පොලිස් නිලධාරියා ඔහුයි. ජෝන් කොතලාවලගේ (‍‍‍ජ්‍යෙෂ්ඨ) පුතෙක් තමයි අගමැති සර් ජෝන් කොතලාවල. (කනිෂ්ඨ) නෑකමින් ඔහු මට මාමා වෙනවා.

සර් ජෝන් ගැන ඔබගේ මතකයේ තිබෙන විශේෂ සිද්ධීන් මොනවාද?

ඔහු අපේ ආතාගේ මරණයට ආවා. ඒ කාලයේ මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපේ අම්මා සර් ජෝන්ට මා ගැන කී විට ඔහු කීවා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එක බොහොම හොඳයි ඉගෙන ගෙන ඉවර වෙලා දේශපාලනයට වරෙන් කියලා. යූ.ඇන්.පී.යට ආවොත් හොඳ තැනකට එන්න පුළුවන් කීවා. 

ඒ වෙලාවේ අම්මා කීවා නෑ, නෑ මෙයා වාමාංශිකයෙක්. සම සමාජකාරයෙක් කියලා. සර් ජෝන් හයියෙන් හිනා වෙලා කීවා අපි ඔක්කොම විශ්වවිද්‍යා‍ලේ ඉගෙන ගන්න කොට නම් වාමාංශිකයෝ කියලා. ඒ කාලයේ සර් ජෝන්ට එංගලන්තයේ කෙන්ට්වල වත්තක් තිබුණා. ඔහු වැඩි කාලයක් ජීවත් වුණේ එහේ. මමත් ඉගෙන ගත්තේ එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ.

දවසක් අපේ අම්මා මට කීවා සර් ජෝන්ට පණිවුඩයක් දෙන්න ඔහුව හමුවෙන්න කියලා. මම දුම්රියේ නැගලා ඔහු බලන්න ගියා. ඒ වෙලාවෙත් සර් ජෝන් මට කීවා ආචාර්ය උපාධිය දිනාගෙන ලංකාවට ගියාම එ.ජා.ප.යට බැඳෙන්න උඹට එජාපයේ හොඳ අනාගතයක් තියෙනවා කියලා. ඔහු එහෙම කීවාට මම වාමාංශිකයානේ. ඒ පාර ඔහු කීවා මටත් හිතෙනවා ඉදිරියේදී ලෝකේ කොමියුනිස්ට් වේවි කියලා. 

නමුත් මම නම් කොමියුනිස්ට් ලෝකෙක මැරෙන්න කැමති නෑ කියලා ඔහු කීවා. (කොතලාවල සම සමාජ කොමියුනිස්ට් විරෝධියෙකු ලෙස ප්‍රකටය) සර් ජෝන් අන්තිම වතාවට මට හමුවන විට ඔහු වයෝවෘද්ධ වී රෝගීව සිටියා. අපේ අම්මාත් එක්ක කඳවල වලව්වට ගිය වේලාවෙදී තමයි ඔහු අවසන් වරට දැක්කේ.

එදා සර් ජෝන් කියපු දේ අහලා එ.ජා.ප.යට ගියානම් ඔබ අද කවුරු වේවිද?

එදා එජාපයට ගියානම් ජනාධිපති වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ඒක මගේ බලා‍පොරොත්තුව නොවේ.

ඔබගේ බිරිය?

මංගලිකා දොඩම්වල. ඇය නීතිඥවරියක්. ගම යටිනුවර. නුවර හිටපු මගේ යහළුවෝ දෙන්නෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල (පාර්ලිමේන්තු මන්ත්‍රී) හා ලාල් විජේනායක තමයි ඇය මට හඳුන්වා දුන්නේ.

දරුවෝ ?

අපිට එක දුවෙක් ඉන්නවා. ඇය තිලෝකා කරුණාරත්න. ඇයත් නීතිඥවරියක්. දුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ කළමනාකාරිය ලෙස රැකියාව කරනවා.

ඔබේ විවාහ මංගල උත්සවයට ඔබ ඇතෙකු පිට ආවයි කියන කතාව මොකක්ද?

ඒක බොරු කතාවක්. නමුත් මගේ බිරියට අයිති ඇතින්නියක් හා අලි පැටවෙක් හිටියා. ඇගේ පියා බස්නායක නිලමේවරයෙක් නිසා පෙරහරවල්වලට ගන්න යටිනුවර ගෙදර අලි හිටියා.

ඉංජිනේරු උපාධිය පමණක් නොවේ, ආචාර්ය උපාධියත් දිනාගෙන කොතලාවල පරම්පරාවට නෑකම් කියන අලියොත් සිටින පවුල් පසුබිමක් තිබියදීත් ඔබ කරන දේශපාලන කටයුතුවලට බිරියත් දුවත් දොස් කියන්නේ නැද්ද?

දොස් කියන්නේ නෑ. හැබැයි ඔය කරන වැඩෙන් තේරුමක් තියෙනවාද කියලා ඔවුන් අහනවා. ඇත්තටම අපි ලබපු ජයග්‍රහණ ගැන ඔවුන් දෙන්නාට තේරෙන්නේ නෑ. නමුත් දේශපාලනය නිසා මා ප්‍රසිද්ධ වූ බව ඔවුන් දන්නවා. බිරියයි දුවයි හිතන්නේ මීට වඩා ඡන්ද දිනන තත්ත්වයක් ඇතිවුණා නම් හොඳයි කියලා. මම පළාත් සභාවට නගර සභාවට තේරුණාම ඔවුන් සතුටු වුණා. ඡන්දයක් කරන කොට බිරියත් දුවත් මට සුළු ආධාරයක් දෙනවා.

ඔබ මුලින්ම ඉස්කෝ‍ලේ ගියේ ?

මතුගම ආනන්දෙට. දයා ටී. පැස්කුවල් තමයි මට “අ” යන්න කියෙව්වේ.

කොළඹ ආනන්ද විදුහලට ඇතුළුවීමට ඉඩ ලැබුණේ කොහොමද?

ආනන්දය ඒ කාලයේ පෞද්ගලික පාසලක්. ඒක පාලනය කළේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමයි. ඒ කාලයේ අවුරුද්දකට සැරයක් ආනන්දයට ළමුන් ගන්න විභාගයක් තියෙනවා. මම ඒ විභාගය සමත් වෙලා තමයි අවුරුදු නවයේ සිට ආනන්දයට ගියේ. 

පුංචි කාලයේ මම හැදුණේ මරදානේ. ඒ කාලයේ මම නතර වෙලා හිටියේ අපේ ඥාතියෙකු වන බුද්ධදාස රත්නායකගේ ගෙදරයි. ඔහු වරායේ නිලධාරියෙක්. වෘත්තීය සමිතිවල වැඩ කළ වාමාංශිකයෙක්. ඔහුගේ බලපෑමෙන් තමයි මම මුලින්ම වාමාංශික දේශපාලනයට යොමු වුණේ.

කවුද ආනන්දයේ සමකාලීනයෝ?

යටගම අමරදාස, කරු ජයසූරිය මට වඩා අවුරුදු දෙකක් ‍‍‍ජ්‍යෙෂ්ඨයි. පේරාදෙණිය සරසවියේ වැඩබලන උප කුලපති ධුරය දැරූ මුණිදාස පද්මසේන රණවීර ඇතුළු පිරිසක් හිටියා. රණවීර මගේ පාසල් මිතුරෙක් පමණක් නොවේ, පේරාදෙණිය සරසවියේ මෙන්ම කේම්බ්‍රිජ් සරසවියෙත් අපි එකට ඉගෙන ගත්තේ. ලංකාවට ඇවිල්ලා අපි දෙන්නා එකට පේරාදෙණියේ ඉගැන්වුවා.

ගාමිණී ජයවික්‍රම පෙරේරාත් ඔබේ සමකාලීනයෙක්ද?

ඔහු ඉගෙන ගත්තේ නාලන්දයේ. නමුත් ඔහු නතර වෙලා හිටියේ අපේ අල්ලපු ගෙදර. ගාමිණී ක්‍රීඩාවට දක්ෂයා. ක්‍රිකට්කාරයා. අපිත් එක්ක ක්‍රිකට් ගහන්න එනවා. ඔහු දක්ෂ වේග පන්දු යවන්නෙක්. එක බෝලෙන් අපිව අවුට් කරනවා. ඉතිං අපි කෑ ගහනවා ෂයි බෝල් දාලා අපිව අවුට් කරනවා කියලා. ඒත් වැඩක් වෙන්නේ නෑ. මිනිහා හරි තදයි.

ඉගෙන ගැනීමට අමතරව ඉස්කෝලෙදි මොනවද කළේ?

පිහිනුම් කළා. නමුත් වැඩියෙන්ම මහන්සි වුණේ කැඩෙට්වලටයි. ඒ කාලයේ අපේ විදුහල්පතිවරයා වුණේ එල්.එච්. මෙත්තානන්ද සර්. ඔහු තමයි ඒ කාලයේ සිංහල බෞද්ධ බලවේගයේ නියමුවා. අපි කතෝලික පාසල් පරදවලා කැඩෙට්වලින් මුල්තැන ගන්න ඕනේ කියලා මතයක් තිබුණා. එකල හමුදාවට ගියේ ආනන්ද, නාලන්ද ළමයි නොවේ. 

රාජකීය හා කතෝලික පාසල්වල ආදී සිසුන්. මේවා පරාජය කරලා ආනන්දේ ළමුන් හමුදාවට යන්න ඕනේ කියලා ලොකු පිබිදීමක් ඇති වුණා. ඉන් උත්තේජනය ලැබූ අපි පනස් නවයේදී කැඩෙට්වලින් පළමුවැනියා වෙලා හර්මන් ලූස් කුසලානය ජයගත්තා. ඒ වෙලාවේ මම නියෝජනය කළේ වෙඩි තැබිමේ කණ්ඩායමයි.

සිංහල බෞද්ධ පමණයි කියන මේ ආණ්ඩුවට තියෙන ආකල්පය අවුරුදු නවයේදී මටත් තිබුණා. ඒකට හේතුව මෙත්තානන්ද සර්ගේ බලපෑම. රෝහිනී ‍පොතෙන් එළාර – දුටුගැමුණු යුද්ධය කියවලා අපිත් හිතුවේ දෙමළු රට අල්ලන්න එනවා. ඒ නිසා ඔවුන් පරාජය කරන්න ඕනේ කියලා. 

කෙසේ නමුදු අපි කැඩෙට් කෑම්ප් එකට ගියාම අපේ ශාලාවේ හිටියේ කතෝලික පාසලක් වූ ශාන්ත බෙනඩික් එකේ ළමුන්. ඔවුන් අපි සමග බෙදා හදාගෙන ශාලාවේ හිටියා. අපි කුසලානය දිනුවාම ඔවුනුත් අත්‍පොළසන් දී සතුට පළ කළා. ඒ වෙලාවේදී තමයි මට තේරුණේ අපට මෙපමණ කල් කතෝලිකයත්, දෙමළ ජාතිය ගැන උගන්වලා තියෙන්නේ බොරු කියලා.

ඒ වගේම අපට පාස‍ලේ බුද්ධාගම ඉගැන්වූ කොටගම වාචිස්සර හාමුදුරුවෝ නියම බුදු දහම කියා දුන්නා. උපාසකම්මලා කියන්නේ බොරු. ඒ අය කියන දේ නොවේ බුදු දහම කියන්නේ. බුදු දහම කියන්නේ යථාවාදී අදහසක් කියලා තමයි උන්වහන්සේ අපට ඉගැන්වූයේ.

ඔබ සාමාන්‍ය පෙළ විභාගය කළේ?

එක්දහස් නවසිය පනස් අටේදී. අපි තමයි මුලින්ම සිංහලෙන් සාමාන්‍ය පෙළ විභාගය ලීවේ. කෙසේ නමුදු හැටේදී අපට උසස් පෙළ ලියන්න වුණේ ඉංග්‍රීසියෙන්. මම පුංචි කා‍ලේ ඉඳලම ගණන්වලට දක්ෂයි. අනෙක් විෂයන්වලට බිංදුව තිබුණත් ගණන්වලට සීයෙන් සීයයි. මේ නිසා මම ගණිත අංශයට යොමු වුණා. ඒ කාලයේ මට කීවේ ගණන්කාරයා කියලා.

ඔබ සරසවියට ගියේ ?

හැට එකේදී. මම මුලින්ම ගියේ කොළඹ සරසවියේ ඉංජිනේරු පීඨයටයි. හැට තුනේදී අපි පේරාදෙණියට ගියා. පේරාදෙණියෙන් මුලින්ම ඉංජිනේරු උපාධිය ගත්තේ අපියි.


කවුද ඔබේ සරසවි සමකාලීනයෝ?

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධුරය දැරූ ගැමුණු සිල්වා, සිරිපාල ජයසිංහ, වි.මු.ජයවර්ධන, බැසිල් තෙන්නකෝන් ඇතුළු බොහෝ පිරිසක් හිටියා. ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධුරය දැරූ බොහෝ පිරිසක් මගේ සමකාලීනයන්.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බලපෑම ඔබට කොහොමද දැනුණේ?

අපි පේරාදෙණියට යන විටත් ඔහු එහි රජකරමින් සිටියේ. මමත් කලා කටයුතුවලට සහභාගි වුණා.පේරාදෙණියට යාමට පෙර කොළඹ සරසවියේ ඉන්න කාලයේත් මම දයානන්ද ගුණවර්ධනගේ “පිංගුත්තර” හා “රන් කිකිළි” නාට්‍ය දෙකට තේරුණා. “පිංගුත්තර” නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ මාවයි. 

මේ අතරේ ලයනල් අල්ගමත් අපේ කටහඬ පරීක්ෂා කරන්න ආවා. මගේ සිංදු කියන හැකියාව නාට්‍යයට මදියි කියලා ඔහු මට කීවා. නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ තරුණියත් දෙවැනි වසරේ. නමුත් මම පළමු වසරේ සමහරු කියන්න ගත්තා මූ ලොක්කා වෙන්න හදනවා කියලා ඊර්ෂ්‍යා කළා. ඒ සමගම මම නාට්‍යයෙන් කැපිලා ගියා. මේ සිද්ධියෙන් පස්සේ මම නාට්‍යවල රඟපාන්න ගියේ නෑ.

මිහිරි ෆොන්සේකා
ලක්බිම

No comments:

Post a Comment

Post Bottom Ad