ජනපති මහින්දගේ ජයග්‍රහණයෙන් පසු 2/3 ක පාර්ලිමේන්තුව තව අවුරුදු 2 ක් තිබෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ජනපති මහින්දගේ ජයග්‍රහණයෙන් පසු 2/3 ක පාර්ලිමේන්තුව තව අවුරුදු 2 ක් තිබෙනවා

2/3  බලය සහිත පාර්ලිමේන්තුවක් තවත් වසර 2 ක් පවතින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළ හොත් පමණක් බවත් ලන්සි පැපොල් වර්ගයේ නායකයෙක් ජයග්‍රහණය කළ හොත් එන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් නටවන පාර්ලිමේන්තුවක් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 100 සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සඳහා පැවති උත්සවයකට ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම උත්සවය කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යාවරයා “  පසුගිය කාලයේ  පැවති රජයන් මේ නිවාසකරණය පිළිබඳව තිබූ අවධානය අඩු කරලා තිබුණේ.  එහෙත් අතිගරු ජනාධිපතිතුමාගේ රජය විසින්  නිවාසරකණය සම්බන්ධයෙන් යළි රට තුළ  ප්‍රබෝධයක් ඇති කළා.  

වසර 2 ක්  පැවති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජය විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටන යටතේ ලංකාවේ වසා දැමිය යුතු රාජය ආයතන ලැයිස්තුවක් නම්  කර තිබුණා.  ජාතික  නිවාස සංවර්ධන අධිකාරියත් තිබුණේ ඒ වසා දැමිය යුතු ආයතන ලැයිස්තුවේ. 

පොදු ජනතාව සඳහා රජය විසින් නිවාස නිර්මාණය කළ යුතුයි කියන ප්‍රතිපත්තියෙන් ඒ ආණ්ඩුව ඉවත්වෙලා හිටියේ. දැන් එක එක කට්ටිය එනවා බොරු දේශපාලන සටන් පාඨ අරගෙන.  ගමට මණිබඩු    අරගෙන එන වෙළෙන්දෝ වගේ.  පිටින් බැලුවහට බොහොම හොඳට බැබලි බැබලි  තියෙනවා. හරියට රත්තරං වගේ.

 ඒ අය ළඟ තියෙන්නේ  සටන් පාඨත්  රත්තරං පාටයි. මණිබඩු වගේ දිළිසෙනවා.  දැක්කහම හිතෙනවා හොඳ ඒවා කියලා. ඒත් දැම්මහම සතියයි දෙකයි රත්තරං පාට කොහේ ගියාද දන්නෑ.  දැන් දේශපාලන මණි බඩුකාරයෝ වැඩ පටන් අරගෙන තියෙනවා. 

රත්තරං පාට  හීන මවාගෙන කඳමළු බැඳගෙන ගම්වලට එනවා. ඇවිත් බොරු හීන නිර්මාණය  කරනවා.   ඒ නිසා ඒ බොරු මණි ඩබු දේශපාලන සටන් පාඨවලින් ඇස් නිලංකාර කරගන්න එපා කියලා අපි ඔබ සියලු දෙනාට කියනවා.

අද වන විට ශ්‍රි ලංකාව දකුණු ආසියාතික කලාපයේ බොහොමයක් මානව  දර්ශක අතින් ඉදිරියෙන් සිටින්නේ.  පසුගිය ඔක්තෝම්බර් 19 වන දින දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය හෙවත් සාක් සංවිධානයේ ලේකම් කාර්යාලය විසින් දකුනු ආසියාතික කලාපයේ මානව සංවර්ධන දත්ත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ  වාර්තාවට අනුව මේ කලාපයේ  රටවල  සංවර්ධන ඉලක්ක 22 ක් ආවරණය කොට තිබුණා.

 ඒ තුළින් දුප්පත් කම නැති කිරීම, සෞඛ්‍ය, අධ්‍යාපනික ආදී බහුවිධ ක්ෂේත්‍ර  අධ්‍යනයට ලක්වුණා.  ඒ වාර්තාව සකස් කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ නේපාල අගමැතිතුමාගේ  ජාත්‍යන්තර උපදේශක  දාසින් සිද්ධි මහත්මයා. 

එතුමා එම වාර්තාව එළිදක්වමින් කියනවා “  මෙම ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය  ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යොමුවී ඇති මේ කලාපයේ වෙනත් සියලු රටවලට ආදර්ශ සපයයි ”  කියලා.  ඉන් පැහැදිලි වන්නේ ජීවන අපේක්ෂා අනුව රටක් හැටියට අපි සිටින්නේ ඉහළින් කියන කාරණය.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය පැවතියේ උපරිම 5% ක මට්ටමේ එහෙත් අද ඉදිකිරීම් ක්ෂේත්‍ර වර්ධනය 22.23% ක් . ඒ අනුව දළ දේශීය ආදායමෙන් 8% පමණ පංගුවක් සඳහා ඉදිකිරීම් කර්මාන්තය දායකවන වෙනවා.දකුණු ආසියාතික කලාපයේ වැඩිම ස්ථීර නිවාස ප්‍රමාණයක් තියෙන රට ශ්‍රී ලංකාව.  

ලංකාවේ ස්ථීර නිවාසයන්ගේ ප්‍රතිශතය 81% ක්.  ඒ කියන්නේ නිවාස 100 ක් තිබුණොත් ඉන් 81 ක් උළු, ගඩොල්, සිමෙන්ති පාවිච්චි කරලා හදපු ස්ථීර නිවාස. මේ කලාපයේ අඩුම පැල්පත් හා  නුසුදුසු නිවාස තියෙන්නේත් අපේ රටේ.  ඒ ප්‍රමාණය නිවාස 123,000 ක්. ඒ වගේම වැඩිම  ගෘහස්ථ විදුලි පරිභෝජනය, වැඩිම ගෘහස්ථ ජල පරිභෝජනය  තියෙන්නෙත් අපේ රටේ. 

අපේ රටට සාපේක්ෂව අපේ කලාපයේ  අනෙක් රටවලට සාපේක්ෂව බොහෝ අංශවලින් ශ්‍රී ලංකාව ඉන්නේ ඉදිරියෙන්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාසකරණය ගැනද මෙහිදී අමාත්‍යාවරයා  අදහස්  දැක්වීය. අපට තියෙන නිවාසකරණ අභියෝගය දෙස බැලුවොත් එහි ප්‍රතිශතය පවතින්නේ මේ අයුරින්.

2011 – 2012 ජන හා නිවාස  සංගණනයට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ නිවාස සංඛ්‍යාව  217, 213 ක්. ඒ සමස්ථ නිවාස ප්‍රමාණයෙන් ගඩොලින් හා සිමෙන්තියෙන් ඉදිකළ නිවාස ප්‍රමාණය 194,289 යි. ඒ කියන්නේ  මුළු නිවාස 217,000 න් 194289 ස්ථීර නිවාස. ඊළඟට මැටියෙන් හා මැටි ගඩොල් වැනි දෙයින් කළ වැඩිදියුණු කළ යුතු  නිවාස 19,546 ක් තියෙනවා. පොල් අතු ලෑලි , ටකරන් වැනි ද්‍රව්‍ය වලින් සෑදූ නිවාස  3398 ක් තියෙනවා.  

මේ ජන හා නිවාස සංගණනය අනුව  අපට පේනවා, අපි ජය ගත යුතුව ඇති අභියෝගය මොකක්ද කියලා. මේ දත්ත අනුව අපට පෙන්වාදෙන අභියෝගය තමයි දැන් අපි හඹාගෙන යන්නේ ” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙයට සමගාමීව  ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) විසින් පැවැත්වූ එක් දින පුහුණු වැඩමුළුවට සහභාගී වූ වඩු කාර්මිකයින් හා පෙදරේරු ශිල්පීන් 381 දෙනෙක් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණ.

“මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජනසෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.

– con. media

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *