ලෝක කුසලාන තරගයට ශ‍්‍රී ලංකාව හා කොදෙව්වන් අතර දැවැන්ත සටනක්… ඉන්දියාව සමග සමග තරගාවලිය පැරදුණොත් වෙනදේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ලෝක කුසලාන තරගයට ශ‍්‍රී ලංකාව හා කොදෙව්වන් අතර දැවැන්ත සටනක්… ඉන්දියාව සමග සමග තරගාවලිය පැරදුණොත් වෙනදේ මෙන්න

සිම්බාබ්වේ සමග පැවැති එක්‌දින තරගාවලිය 3-2 ක්‌ ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල තවත් ප්‍රසාද ලකුණු පහක්‌ අඩු වීමත් සමග 2019 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලයේම සුදුසුකම් ලැබීමේ අවදානමක්‌ මතුව තිබේ. 

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව ඉදිරි මාස දෙක ඇතුළත ලබන ජයග්‍රහණ සහ පරාජයන්වල පරතරය අනුව එම කණ්‌ඩායම් දෙකෙන් එකකට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි විය යුතු වේ. ‘මම දන්න විදිහට නම් අපිට 2019 ලෝක කුසලාන තරගාවලියට යන්න සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වෙන්න ඕන වෙන එකක්‌ නැහැ. ඒක හරියටම මම දන්නෙ නැහැ. කොහොම වුණත් අපි ඉදිරියට හොඳින් ක්‍රීඩා කළ යුතුයි.” යනුවෙන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ අදාළ ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීම සම්බන්ධයෙන් විමසන ලදුව පවසා සිටියේය.

වත්මන් ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ වටයකින් තොරවම සහභාගි වීමේ හැකියාව තිබුණද ඉදිරි දෙමසක කාලය තුළදී පැවැත්වෙන තරගවලදී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් දක්‌වන දක්‍ෂතාව මත එම කණ්‌ඩායම් දෙකෙන් එකකට නියත වශයෙන්ම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීම අනිවාර්ය වේ. එහිදී ශ්‍රී ලංකාව සියලුම තරග පරාජය වී කොදෙව්වන් සියලුම තරග ජයගතහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබිමේ වටයට යා යුතුව තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ පරතරය දහයකි. එහිදී කොදෙව්වන් ප්‍රසාද ලකුණු 78 ක්‌ද ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 88 ක්‌ද ලබා තිබේ. එළැඹෙන ලෝක කුසලාන සඳහා කණ්‌ඩායම් 10 ක්‌ තරග වදින අතර ඉන් අවසන් කණ්‌ඩායම් දෙක තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලියක්‌ පවත්වමිනි. කෙසේ වෙතත් මේ වන විට දකුණු අප්‍රිකාව, ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්‌තානය සහ බංග්ලාදේශය ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා තිබේ.

ලබන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම එක්‌දින තරග හයකට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාව එක්‌දින තරග පහකට සහභාගි වේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්‌දින තරගාවලිය ශ්‍රී ලංකාව 5-0 කින් හෝ 4-1 කින් පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 ක්‌ බවට පත්වේ. ඒ අතරවාරයේදී කොදෙව්වන් අයර්ලන්තය සමග තරගය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහම ජය ගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 89 දක්‌වා ඉහළ යනු ලබයි. 

එසේ වුවහොත් පමණක්‌ ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි විය යුතු අතර කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්‌ඩායම් දෙකම ඉදිරි දෙමසක කාලයේදී පැවැත්වෙන සියලුම තරග පරාජයට පත් වුවත් ශ්‍රී ලංකාව එක එල්ලයේ ලෝක කුසලාන සඳහා අවස්‌ථාව හිමිකර ගනු ලබයි. ඉන්දියාව සමග තරගාවලිය 4-1 ක්‌ ලෙස ශ්‍රී ලංකාව ජය ගතහොත් යළිත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 93 දක්‌වා ඉහළ දමා ගැනීමේ හැකියාව ද තිබේ. පසුගිය මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පහළින් සිටි බංග්ලාදේශය සහ පාකිස්‌තානය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ගිය අතර එයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාව අවසන් මාස හතේදී සහභාගි වූ තරග 16 න් 11 ක්‌ම පරාජයට පත්වීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad