ලොව වටා යන ඇෆ්ගන් කාන්තා ගුවන් නියමුවරිය ලංකාවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

ලොව වටා යන ඇෆ්ගන් කාන්තා ගුවන් නියමුවරිය ලංකාවට…

තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින් ලොව වටා ගමන් කරන ෂෙස්ටා වෝයිස් නම් ඇෆ්ගනිස්තාන ජාතික ගුවන් නියමුවරිය හදිසි නැවතුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකාව මුලින් නිශ්චිත නැවතුමක් ලෙස තෝරාගෙන නොතිබුණද මේ දින වල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙසේ ලංකාවට ගොඩබස්සවා ඇත.

බීච්ක්‍රාෆ්ට් බොනෑන්සා (Beechcraft Bonanza A36) ගුවන් යානයෙන් ලොව වටා ගමන් කරන ඇය රටවල් 18ක නැවතුම් 30ක් සිදුකිරීමට නියමිත අතර එය සැතපුම් 25,000ක් පමණ වේ. ඇය උපත ලබා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ වුවද ගුවන් අධ්‍යාපනය ලබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන්ගේ ප්‍රමාණය ඉතා අවම බැවින් මීළඟ පරම්පරාවේ ගැහැණු දරුවන් ගුවන් කර්මාන්තය හා සමීප කරවීම ඇයගේ ලොව වටා ගුවන් ගමනේ ප්‍රධාන අරමුණයි.

ලොව පුරා ගුවන් නියමුවන් 130,000ක් පමණ සිටින අතර ඒ අතර සිටින කාන්තාවන් ප්‍රමාණය 4,000ක් පමණ වේ. මෙය ඉතා පහළ ප්‍රතිශතයකි. ඇයගේ ශ්‍රී ලංකා ගමන හේතුවෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් චාම් පිළිගැනීමේ වැඩසටහනක් කටුනායක ගුවන් තොටුපළේදී පවත්වා ඇත. එම අවස්ථාව සඳහා පාසල් සිසුවියන් මෙන්ම ගුවන් පුහුණු පාසල් වල ගුවන් පුහුණුව ලබන සිසුවියන් කිහිපදෙනකුද සහභාගීවිය.

– චමීර අල්ගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad