ජනපති ආරක්ෂක ලොක්කාගේ රියදුරුගේ ඝාතනය අභිරහසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ජනපති ආරක්ෂක ලොක්කාගේ රියදුරුගේ ඝාතනය අභිරහසක්

ජනපති ආරක්ෂක ලොක්කාගේ රියදුරුගේ ඝාතනය අභිරහසක්

ජනාධිපති ආරක්‌ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියදුරකු වන පොලිස්‌ සැරයන්වරයකු පසුගිය 16 වනදා සවස පොළොන්නරුව නව නගරයේ පිහිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නිල නිවස තුළදී අභිරහස්‌ ලෙස කපා කොටා ඝාතනය කොට ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ පොලිස්‌ සැරයන් (1786) ටී. ජී. විඡේනායක නමැති දෙදරු පියෙකි.

ඔහු මැදිරිගිරිය, දිවුලන්කඩවල, කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම පොලිස්‌ සැරයන්වරයා පොළොන්නරුව නව නගරයේ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නිවස වෙත කොළඹ සිට 16 වැනිදා සවස පැමිණ ඇති බවත් ඝාතනයට ලක්‌වන විට එම නිල නිවසේ සිට ඇත්තේ පොලිස්‌ සැරයන්වරයා පමණක්‌ බවත් මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

කැපුම් තුවාල සහිතව නිල නිවසේ පිටුපස කාමරයක වැටී සිටි පොලිස්‌ සැරයන්වරයාගේ මළ සිරුර පොලිසියට හමුවී ඇත්තේ එදින රාත්‍රි 7.00 ට පමණ බව ද වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පොළොන්නරුව වැඩබලන මහෙස්‌ත්‍රාත් සිරිපාල රණතුංග මහතා විසින් සිද්ධිය වූ ස්‌ථානයේදී පවත්වනු ලැබූ අතර ඝාතනයට ලක්‌වූ පොලිස්‌ සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසට පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

මේ අතර පොලිස්‌ සැරයන්වරයාගේ ඝාතනය සිදුකළ අපරාධකරුවන් පලාගිය බවට සැකකෙරෙන යතුරුපැදිය පෙරේදා (17) පෙරවරු 8.00 ට පමණ මින්නේරිය වැවේ ජයන්ති සොරොව්ව අසළ දමා ගොස්‌ තිබියදී සොයාගත් බව මින්නේරිය පොලිසිය කියයි. එහි අංකය එන්. සී. බී. සී, කිව් 6211 බව පරීක්‍ෂණ මෙහෙයවන පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊයේ එම ප්‍රදේශයට පිටව ගොස්‌ ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad