යුද්ධය නිසා වවුනියාවේ පවුල්12,000 ක් තවමත් අවතැන් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

යුද්ධය නිසා වවුනියාවේ පවුල්12,000 ක් තවමත් අවතැන් (PHOTOS)

යුද්ධය හේතුවෙන් අවතැන් වැසියන් 12,000කට ස්ථීර නිවාස ලබාදෙන ලෙස ඉල්ලා ඉල්ලුම් පත්‍ර වවුනියාව දිසාපති කාර්යාලය වෙතට යොමු කර ඇති බව වව්නියාව දිසාපති එම්.බී. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

අදාල ඉල්ලුම්පත් තොගයට යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් යුද්දයෙන් පසු ව නැවත වවුනියාවේ මුල් ගම් බිම් වෙතට පැමිණි වැසියන් ද අයත්වන බවත් එම වැසියන් ඔවුන්ගේ ඥාති නිවාසවල හා තාවකාලික නිවාසවල ජීවත්වන බවත් දිසාපතිවරයා කියා සිටියේ ය.

ඔහු මේ බව පැවසූවේ නිවාස අහිමි වූ වැසියන් මේ දිනවල වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතට පැමිණ නිවාස ඉල්ලුම්පත් බාරදීම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ දිසාපතිවරයා, "ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ වව්නියාවේ නිවාස අහිමිවූවන් මේ වනවිට 12,000 ක් පමණ ඉල්ලුම්පත් ලබා දී තිබෙනවා. ඉන් නිවාස 850 කට මේ වනවිට මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා. ඒ 850 අතර ඉන්දියාවට ගිහින් නැවත ආපු පවුල් 60කුත් සිටිනවා." යනුවෙන් සඳහන් කළේ ය. 

ඒ අනුව වව්නියාව නගර මධ්‍යයේ නිවාස 357 කුත්  වව්නියාව දකුණට නිවාස 238කුත් වව්නියාව උතුරට නිවාස 102 කුත් වව්නියාව වෙන්කඩි සෙට්ටිකුලම් ප්‍රදේශයට නිවාස 153 කුත් වෙන් කර ඇතැයි වාර්තා වේ.
යුද්ධය අවසන් වුවත් හිසට වහලයක් නොමැති ව කරන්න හරිහැටි රැකියවක්, ආර්ථිකයක් නොමැති ව කල් ගෙවන තමන් නැවත යුද්ධයකට මුහුණ දෙන බව වෙතත් නිවාස අහිමි වව්නියාවේ වැසියන් කියා සිටී.

වන්නි - රොමේෂ් මධූෂංඛ

V

No comments:

Post a Comment

Post Bottom Ad