ඒකාබද්ධ විපක්ෂයට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වැඩ වරදී? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

ඒකාබද්ධ විපක්ෂයට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වැඩ වරදී?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ මන්ත්‍රීවරු පක්ෂය විසින් පවත්වන මැයි දින රැළියට හැර වෙනත් මැයි දින රැළිවලට සහභාගී වුවහොත් පක්ෂය විසින් දැඩි ක්‍රියා මාර්ගයක්‌ ගනු ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී ‌වෙමිනි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ මැයි දින රැළිය ගාල්ල නගරයේ දී පැවැත්වෙන බවත් පක්ෂයේ සියලු සාමාජිකයන්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවත් හෙතෙම පැවසී ය.

ගාල්ලේ පැවැත්වෙන රැළියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට සහභාගී විය හැකි බවත් ඇමතිවරයා කීය. මේ වනවිට සන්ධානයේ සාමාජිකයන් සමග ආසන බල මණ්‌ඩල සමග රැස්‌වීම් 47 ක්‌ රට පුරා පැවැත් වූ බවත් ඉන් රැස්‌වීම් 04 ක හැරෙන්නට සෙසු රැස්‌වීම්වල ප්‍රශ්න ඇති නොවුණ බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

සන්ධාන රැස්‌වීම්වල දී "හූ" කීම් සහ කඩාකප්පල් කිරීම් සිදුකරන්නේ එක්‌සත් ජාතික පක්ෂයට වාසියක්‌ ලබාදීමට උත්සහ කරන කිහිප දෙනෙකු බව ද කී ඇමැතිවරයා එවැනි තත්ත්වයක්‌ ඇති නොවීමට ශ්‍රීලනිප ආසන සංවිධායකවරු වගබලා ගත යුතු බව ද පෙන්වා දුන්නේ ය.

මේ වනවිට පක්ෂයේ විනය කඩ කළ පළාත් පාලන නියෝජිතයන් 07 දෙනකු පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් තවත් අය අතින් එවැනි වැරදි සිදුවන්නේ නම් ඔවුන්ට එරෙහිව ද පක්ෂය දැඩි පියවරක්‌ ගනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad