කුඩු-පාතාල කිරුළ කොලොන්නාවටයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

කුඩු-පාතාල කිරුළ කොලොන්නාවටයි…

කොළොන්නාව කිව්වම මාධ්‍යයෙන් රටේ තොටේ ඇහුණේ කුඩු වලින් කප් ගහපු, කුණු වලින් කප් ගහපු ,පාතාලයෙන් කප් ගහපු සමාජයෙන් නොපිළිගන්න කොට්ඨාශයක් ලෙස තමයි රට තුළ කොළොන්නාව කියන ප්‍රතිරූපය හදලා තිබුනේ. 

කොළොන්නාව  කොට්ඨාශය තමයි කොළඹ දිස්ත්‍රික්කයේ දුර්වලම අධ්‍යාපන කොට්ඨාශය එක එක්කෙනාගේ අත පෙවීම් තියෙන, පාසල් වලට පහසුකම් නොදෙන, ගුරුවරු මාරුකරන, මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන කොට්ඨාශය තමයි කොළොන්නාව. 

කොළොන්නාවේ පාසල් තුළ භෞතික පහසුකම් වර්ධනය කරන්නේ නැතිව , ගුරුවරුන්ගේ පහසුකම් ලබා දෙන්නේ නැතිව ගුණාත්මක ප්‍රතිඵල අපිට අපේක්ෂා කරන්න බෑ. කොළොන්නාවට වටිනාකමක් ලබා දෙන්න නම් කොළොන්නාව සෑබෑ ලෙස දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම කොළොන්නාවේ අධ්‍යාපනය දියුණු කරලා උගතුන් බුද්ධිමතුන් බිහිවන තැනක් බවට පත් කරන්න ඕනේ. 

ඒ අරමුණට යන්න මං හැකි උපරිමයෙන් කැපවෙනවා එය මගේ වගකිමයි යැයි කොළොන්නාව ආසනයේ පාසල් වල සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ සිසුන් සදහා උපහාර පිදීමේ උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසන ලදී. මෙම උත්සවය සදහා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි ලංකාවෙන්ම ප්‍රථමයා වූ විශාඛා විද්‍යාලයේ සත්සරණී හෙට්ටිආරච්චි සිසු දියණිය ද සහභාගී විය.

අධ්‍යාපනය දුර්වල වීම නිසා තමයි කොළොන්නාවේ මූලික ප්‍රශ්නය  බොහොමයක් ඇති වෙලා තියෙන්නේ. පාසල් වලට අවශ්‍ය පහසුකම් හා ගුරුවරු නැති නිසා 9 වසරෙන් පස්සේ බහුතරයක් පිරිමි ළමයි පාසල් යන එක නතර කරලා තියෙනවා. නිසි අධ්‍යාපන සුදුකම් නොමැති නිසා විරැකියාව ඉහළ ගිහින් තියෙනවා. ඒ හින්දා තමයි මත්කුඩු රාක්ෂයාට කොළොන්නාව ගිල ගන්න පුලුවන් උනේ. මේ සියලු දේවල් වලට තියෙන එකම උත්තරය අධ්‍යාපනය දියුණු කිරීම පමණයි. 


ඉගෙන ගත්ත මිනිස්සු ඉන්න කොට්ඨාශයක් බවට කොළොන්නාවට පත් වුනාම මත්කුඩු රාක්ෂයාට මෙහේ ඉඩක් නෑ. රජයේ රැකියා වගේම , පෞද්ගලික රැකියා වලට ගැලපෙන අධ්‍යාපනයක් ලබපු ශිෂ්‍ය පරම්පරාවක් බිහිවෙනවා නම් එතන තමයි සංවර්ධනය තියෙන්නේ. මේක අමාරු වැඩක් මේක දවසකින් හෝ අවුරුද්දකින් කරන්න බෑ. පාර හදන්න ඕනේ, කුණු කන්ද අයින් කරන්න ඕනේ, කාණු හදන්න ඕනේ. 

ඒවා කරනකොට ඊට සමගාමීව අධ්‍යාපනය දියුණු කරන්නත් කටයුතු සිදු කරනවා. අද A සාමාර්ථ 9 ක් කොළොන්නාවේ පාසල් වලින් තියෙන්නේ 8 යි. ඒ ගාන හොදටම මදි. අඩුම තරමේ තව අවුරුදු 03 ක් හෝ 4 ක් යනකොට කොළොන්නාවෙන් A 9 සාමාර්ථ ගන්න 50 ක් වත් බිහිවෙන්නේ නැතිනම් මම අසාර්ථක මනුස්සයෙක් වෙනවා. මගේ මේ උත්සහයෙනුත් ඵලක් නැති වෙනවා.

රස්සාවක් ගන්න පාරවල් හදන්න ඇමති කෙනෙක්ගේ පස්සේ යනවාට වඩා පාසලකට මුදල් වෙන් කර ගන්න, විද්‍යාගාරයක් හෝ පන්ති කාමර ලබා ගන්න ඇමැති කෙනෙක්ගේ පස්සේ යන එක හොදයි. මල්ලිමාරච්චි ඇමතිතුමාගෙන් පසුව කොළොන්නාවේ අධ්‍යාපනය දියුණු කළේ මමයි යන නාමය මට අර පාර හැදුවා මේ පාර හැදුවා  කියන එකට වඩා වටිනවා. මගේ වගකීම අධ්‍යාපනය දියුණු කරලා හොද පුරවැසියන් පිරිසක් කොළොන්නාවෙන් බිහිකරන එකයි. ඒකට මං යලි යලිත් කැප වෙනවා.

– මිනුර සෙනරත්

No comments:

Post a Comment

Post Bottom Ad