හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමති රවීගෙන් අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමති රවීගෙන් අභියෝගයක්

යහපාලන ආණ්ඩුව යටතේ නවතා දැමූ එක් ව්‍යාපෘතියක් හෝ නම් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කරයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.යහපාලන ආණ්ඩු පාලනය තුළ රැකියා විසි ලක්ෂයක පමණ අහිමි වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. 

ඊට හේතුව ලෙස ඒ මහතා දක්වා තිබුණේ සුළු, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපෘති වත්මන් පාලනය තුළ නවතා දමා ඇති බව සඳහන් කරමිනි.
පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙමින් පැවැති කිසිදු විධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් කිසිදු ආකාරයේ නවතා දැමීමකට, අඩපණ වීමකට ලක් වී නොමැති බවත් නිසි මුදල් වෙන් කිරීමකින් තොරව ආරම්භ කර තිබූ ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් අලුතින් මුදල් වෙන් කර ඇත්තේ වත්මන් පාලනය මගින් බවත් අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මාධ්‍ය අංශය විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන් වේ.  ‘එසේ ම මුදල් නොගෙවීම නිසා ව්‍යාපෘති අතහැර දමා ගිය කොන්ත්‍රාත්කරුවන් සමග නැවත සාකච්ඡා කර ඔවුන්ගේ ගෙවීම් විධිමත් කිරීම සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණ ව්‍යාපෘති ඉදිරියට රැගෙන යාමට වත්මන් ආණ්ඩුව මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. 

කුමන පාර්ශ්වය අවධිමත්ව ව්‍යාපෘති ආරම්භ කළ ද එම ව්‍යාපෘති නවතා දමා ජනතාව අපහසුවට පත් කිරීම යහපාලන ආණ්ඩුවේ අපේක්ෂාව නොවේ. එබැවින් එදා ලබා ගත් අධි පොලී ණය වෙනුවට සහනදායී ණය යෝජනා ක්‍රම මගින් ණය ලබාගෙන ජනතාවට බරක් නොවන ලෙස සංවර්ධනය පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. 

ඊට ආසන්නතම නිදසුන නම් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඔපෙක් සංවිධානය අතර පසුගිය දා අත්සන් තැබූ ණය ගිවිසුමයි. 
මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත යා කෙරෙන පේරාදෙණිය, බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ග සංවර්ධනය වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනේ. 

ලබා ගැනෙන මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 60කි. වසර 5ක සහන කාලයකුත් සමග ගෙවීමට වසර 20 කාලයක් වැය කළ හැකි මෙම ණය මුදලේ පොලිය 2.5%කි. යහපාලන සුළුතර ආණ්ඩුව ගෙවී ගිය කෙටි කාලය තුළ මේ සියලු කටයුතු ඉටු කළේ ජනතාව කිසිදු අපහසුතාවකට පත් නොකර සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාමට ය. 

සංවර්ධන කටයුතු වෙනුවෙන් බව පවසමින් ඇතැම් රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ඇතැම් ණය මුදල්වලට සිදු වූයේ කුමක් ද යන්නෙ මෙතෙක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.මෙවැනි තත්ත්වයන්ට වගකිව යුතු පාර්ශ්ව යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය කාලය දෙස බලා විමතියට පත්ව ඇති බව වටහා ගත්තෙ හැක්කේ එල්ල කරන අභූත චෝදනාවලිනි. 

එම නිසා පැවැති ආණ්ඩුව විධිමත්ව ආරම්භ කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් අත්හිටුවා නොමැති බවත් මුදල් නොමැතිව නැවතීමට ගිය ඇතැම් ව්‍යාපෘති ජනතාව වෙනුවෙන් යළි ආරම්භ කර ඇති බවත් අවධාරණය කළ යුතුය. 

බන්දුල ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා කියන ආකාරයට රැකියා අහිමි වී ඇත්තේ චීන ව්‍යපෘතිවල සේවය කළ චීන ජාතිකයන්ට බව නම් සත්‍යයි. මන්ද අප එම ව්‍යාපෘතිවල සේවය කළ චීන ජාතිකයන් ඉවත් කර ඒ එම රැකියා මෙරට තරුණයන්ට ලබා දීම යහපාලන ආණ්ඩුව මගින් මේ වන විට සිදු කරමින් පවතින බැවිනි.‘ යැයිද එම නිවේදනයේ දැක්වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad