යුග දෙකක රූප දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

යුග දෙකක රූප දෙකක්

මෙහි දැක්වෙන්නේ අජටාකාශගාමීන් විසින් ගන්නා ලද ඡායාරූප දෙකකි. එක් ඡායාරූපයක දකුණු ඉන්දියානු අර්ධද්වීපයේ දහවලද අනෙක් ඡායාරූපයේ එහි රාත්‍රියද දැක්වේ. 

සැම පැය 24ක් තුළදීම අජටාකාශගාමීන් පෘථිවියේ දිවා කාලය ඇති පැත්තේ සිට රාත්‍රී කාලය ඇති පැත්තට 16 වතාවක් ගමන් ගනී. එබැවින් ඔවුන්ට රාත්‍රිය සහ ආලෝකය අතර ඉතා වෙනස් දෘශ්‍ය තත්ත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමට සිදුවේ.

රාත්‍රී ඡායාරූපය මෑතකදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගන්නා ලද්දකි. කොචි, කොයිම්බතූර් වැනි විවිධ විශාලත්වයෙන් යුත් නගරවල මානව භූගෝලීය විස්තර සහ නගර යා කෙරෙන මහා මාර්ග ආදියද එහි දැක්වේ.

වෙරළ තීරයට සමාන්තරව වැටී ඇති අඳුරු කලාපයෙන් පෙන්නුම් කරන්නේ දකුණු දිග ඝාට්ස් යනුවෙන් හැඳින්වෙන මුළුමනින්ම පාහේ ජනශූන්‍ය කඳු කලාපයයි. පසළොස්වක දිනයට ආසන්න දිනක සඳ එළියේ දිලිසෙන වළාකුළු මෙහි පැල්ලම් ලෙසින් පෙන්නුම් කරයි.

දිවා කාලයේ භූ දර්ශනය දැක්වෙන ඡයාරූපය ගෙන ඇත්තේ ජෙමිනි 11 අභ්‍යවකාශ යානයේ ගගනගාමින් විසිනි. එහි වෙරළ තීරය හා ගොඩබිම වර්ණවත්ව දිස්වන නමුත් මානව භූගෝලීය විස්තර මෙහි නොපෙන්වයි. 

මුල් කාලීන අභ්‍යවකාශ යානයකින් ගත් මෙම දර්ශනය ගෙන ඇත්තේද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය රාත්‍රී ඡයාරූපය ගන්නා උස මට්ටමේම සිටමය. සුදු පැහැති දීප්තිමත් වළාකුළු රටාවලින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මතුපිටින් වැඩි ප්‍රමාණයක් වැසී ඇත.

S66-5477 නමැති මෙම දිවා කාලයේ අභ්‍යවකාශ ඡායාරූපය ගන්නා ලද්දේ 1966 සැප්තැම්බර් 14 වැනිදාය. ඒ සඳහා මි.මී.70 කාච සහිත නවීකරණය කරන ලද හැසෙල්බ්ලැඩ් කැමරාවක් භාවිත කර ඇත. 

ISS042-E-135100 නමැති රාත්‍රිය දැක්වෙන අභ්‍යවකාශ ඡයාරූපය 2015 ජනවාරි 12 වැනි දින ගන්නා ලද්දකි. ඒ සඳහා මි.මී.28 කාච සහිත නිකොන් 4 ඩිජිටල් කැමරාවක් යොදාගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad