ගුවන් නියමු ඝාතනයෙන් පසු අල්කයිඩා සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

ගුවන් නියමු ඝාතනයෙන් පසු අල්කයිඩා සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

පසුගිය බදාදා අල්කයිඩා ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබාදීමට ජෝර්දානය පියවර ගත්තේය. ‘ඉස්ලාමීය රාජ්‍යයේ’ ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි ජෝර්දාන ගුවන් නියමුවා කූඩුවක් තුළ පණ පිටින් පුළුස්සා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කර පැය කීපයකට පසු මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව ජෝර්දාන රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජෝර්දානය විසින් ගුවන් නියමුවාගේ මරණය තහවුරු කළ අතර ඊට අප්‍රමාද හා මාරක ප්‍රතිචාර දක්වන බවට ද ප්‍රතිඥා දුන්නේය. බදාදා දින මෙසේ එල්ලා මරා දැමූ සිරකරුවන් දෙදෙනා සජිඩා අල් - රිෂාවි සහ සාහිඩ් අල් - කබුලි බව රජයේ ප්‍රකාශක මොහොමඩ් අල් - මොමානි ප්‍රකාශ කළේය.

අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලුතිනන් මුවාත් අල් - කාසියාස්බිහ් නැමැති මේ ගුවන් නියමුවා නිදහස් කර ගැනීමට පසුගිය සති කිපය පුරාම ජෝර්දාන රජය වෙහෙසෙමින් සිටි අතර ඒ වෙනුවට අල් - රිෂාවිව නිදහස් කිරීමට අයි. එස්.ත්‍රස්තයන් ඉල්ලා තිබිණි. 

අල්- රිෂාවි යනු අසාර්ථක මරාගෙන මැරෙන ප්‍රහාරයකට සම්බන්ධ බෝම්බකාරියකි. කෙසේ වෙතත් නියමුවා තවම ජීවතුන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂියක් නොවීම හේතුවෙන් සිරකරුවන් හුවමාරුව ඈණ හිට තිබිණි‍.

2005 වසරේ දී අම්මාන් නුවර ට්‍රිපල් හෝටලයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අල් - රිෂාවිට මරණ දඬුවම නියම කර තිබිණි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 60 දෙනකු ජීවිතක්ෂයට පත් විය.ඉරාකයේ දී ජෝර්දාන් ජාතිකයන් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් අල් - කබුලීට මරණ දඬුවම් නියම වී තිබිණි.

ජෝර්දාන් වැසියන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු ලොව පුරා විශාල පිරිසක් ගුවන් නියමුවා ඝාතනය කිරීම සාහසික ක්‍රියාවක් ලෙස හෙළා දැක තිබිණි.

අල් - කසියාස්බිහ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාස‍යේ දී ඔහුගේ F-16 යානය සිරියාවේ රක්කා නුවරට ආසන්නයේ දී අනතුරට පත්වීම නිසාය. 26 හැවිරිදි ගුවන් නියමුවාගේ ඝාතනය හේතුවෙන් එක්සත් ජනපදය සමඟ සමීප සබඳතාවක් පවත්වන ජෝර්දාන රජයට දැඩි පීඩනයක් එල්ල වන බව පෙනී යයි.

ත්‍රස්ත විරෝධී සන්ධානයේ කොටස්කරුවකු වී පසුගිය මාස කීපය පුරාම ජෝර්දානය ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කරුවන් සිටින ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එහෙත් තම අනුගාමික මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන මෙම අන්තවාදී කෲරත්වය පාරාවළල්ලක් විය හැකි අතර එම කලාපයේ අනෙක් සුන්නි මුස්ලිම්වරු ඔවුන්ට එරෙහිව තම ශක්තිය යොදමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad