තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 11, 2020

තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම්

න්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

හන්තාන, උඩුවෙල, උඩගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ (වසම් අංකය-946) පිහිටි ජල පෝෂක කලාපයක් මෙලෙස එළි පෙහෙළි කරමින් පවතී.

මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී ඇතැයි පැවසේ. හන්තාන කඳුවැටියේ අඩි 2500 ත් 3000 ත් අතර කලාපයේ මෙම ඉඩම පිහිටා තිබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය කියයි.

අදාළ ඉඩමේ මානා ආවරණය මේ දිනවල ඉවත් කරමින් පවතින අතර, ඉඩම කොටස් කර අලෙවි කිරීම සඳහා මෙලෙස එළිපෙහෙළි කරන බවද අනාවරණය වේ. එමෙන්ම මෙම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ තුන බැගින් විකිණීමටද නියමිත බව ප්‍රදේශවාසීහු පවසති.

හන්තාන කඳු වැටියේ ප්‍රධාන ජල පෝෂක කලාපයක් වන මෙම ඉඩම පිහිටි භූමිය මෙලෙස එළි පෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් හන්තාන පහළ ප්‍රදේශයේ පදිංචි පවුල් 300කට පමණ ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සැක කෙරේ.

සංවර්ධනය කෙරෙන ඉඩම සහිත භූමිය අභ්‍යන්තරයේ හුණුගල් පාෂාණ සහිත බවද එළි පෙහෙළි කිරීම නිසා අධික වර්ෂා තත්ත්වයකදී නායයෑමේ අවදානම් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ සෙනෙරත් විජේරත්න කියා සිටියේ මීට වසර දෙකකට පමණ පෙරදී ගාල්ල ප්‍රදේශයේ අයකුට නීත්‍යානුකූලව අදාළ ඉඩම ලබාදුන් බවයි.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ හන්තාන කලාපයේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පාරිසරික ආරක්ෂණ කමිටුවේ අවසරය ලබාගත යුතු බවය. මේ සම්බන්ධව නිලධාරීන් යොදවා වහා සොයා බැලීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය. 


No comments:

Post a Comment

Post Bottom Ad