අද ගමනාගමන සේවා බිඳවැටීමක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

අද ගමනාගමන සේවා බිඳවැටීමක්?

අද ගමනාගමන සේවා බිඳවැටීමක්?
අද(01) කොළඹ දී සහ මහනුවරදී පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැස්වීම් මුල් කොට සාමාන්‍ය ජනතාවට ගමනාගමන දුෂ්කරතා පැමිණිය හැකි බවට මත පළවෙමින් තිබේ.

මෙවර කෙළඹ නගරයේ පමණක් මැයි දින පෙළපාලි සහ රැස්වීම් 15ක් පැවැත්වෙන අතර ඒ උදෙසා හෙට පෙරවරුවේ සිටම කොළඹ මහා මාර්ග ගණනාවක් වසා දමා තිබේ. මහනුවර ගැටඹේ පැවැත්වෙන මැයි දින පෙළපාලිය සහ රැළිය වෙනුවෙන්ද මහනුවර ප්‍රදේශයේ මාර්ග ගණනාවක් වසා තිබේ. ඒ අනුව අද දිනයේ අගනුවර සිට පිටපලාත් දක්වා ධාවනය කරන ලංගම සහ පෞද්ගලික බස් රථවල ශීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද දින නිශ්චිත කාල සටහන් අනුව පිට පළාත් සඳහා බස් රථ ධාවනය නොවන අතර බස් රථ පිටත් වන වේලාවන් පිළිබඳවද නිශ්චිතවම යමක් කිව නොහැකි බව පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ ප්‍රකාශකයකු කියා සිටියේය. මේ අතර බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද දිනයේ අගනුවරින් බැහැර ප්‍රදේශවලට යන ධාවන වාර බොහොමයක් අවලංගු කොට ඇති බවය.

නමුත් මේ වන විට එහි මගී තදබදයක් නොමැති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසී ය. ඒ තත්වය යටතේ අද දින පොදු ජනතාවගේ සාමාන්‍ය ගමන් බිමන් සඳහා බොහෝ බාධක අවහිරතා පැන නැගෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර 5500ක් පමණ වන ධාවන වන ලංගම බස් රථ වලින් 4000ක් පමණ මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රීලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදු විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විටත් මුදල් ගෙවා වෙන්කර ගෙන ඇතැයි ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අද කෙළඹ සහ මහනුවර පැවැත්වෙන මැයි දින රැළි සඳහා මෙරට ධාවන වන පෞද්ගලික බස් රථ වලින් 7000ක් පමණ වෙන් කරවා ගෙන ඇති බවයි. ඒ අනුව හෙට දිනයේ මෙරට ධාවනය වන බස් රථ වලින් 60%කටත් වැඩි ප්‍රමාණයක සේවය සාමාන්‍ය මගීන්ට අහිමි වනු ඇත. 

මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා මරදාන මහනුවර සහ මහනුවර මරදාන අතරත් කුරුණෑගල මරදාන සහ මරදාන කුරුණෑගල අතරත් මැයි දින පෙළපාලි සහ රැස්වීම සඳහා අතිරේක දුම්රිය ලබා ගෙන ඇති අතර මේ තත්වය යටතේ දුම්රිය සංඥා රටාවේ වෙනස් වීම් මත සාමන්‍ය ජනතාවගේ දුම්රිය ගමන් බිමන් ප්‍රමාද වීමට බොහෝ ඉඩ කඩක් ඇතැයි විශ්වාස කෙරේ.

විශේෂයෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, සොයිසා කාන්තා රෝහල සහ පේරාදෙණිය මහ රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල ආදි රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන තම ඥාතීන් බැලීමට එන පිරිස් වලට දැඩි අපහසුවට පත් වීමට සිදූවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව හෙට ඇතිවිය හැකි මෙම ජනපීඩනය නිසා ගිලන් රථ සහ ගිනි නිවන සේවා රථ ආදී අත්‍යවශ්‍ය මහජන සේවා වලටද විවිධ බාධක වලට මුහුණ පාන්නට සිදුවිය හැකි යැයි වාර්තා වේ. ඊට අමතරව කොළඹ සහ මහනුවර පැවැත්වෙන මැයි දින වලට මෙලෙස විශාල වශයෙන් බස් රථ ලබා ගැනීම නිසා දිවයිනේ ප්‍රධාන මාර්ග හා සෙසු මාර්ග වල බස් රථ ධාවන වාර සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවද ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල වලට සේවා ස්ථාන වලට පැමිණිමේ දී සිදුවන ප්‍රමාද වීම් මත එම සේවා වල යම් අඩාල වීමක් සිදුවිය හැකි බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad