අන්තරේ විරෝධතාව: හිමිනමක් ඇතුළු 8ක් රිමාන්ඩ්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

අන්තරේ විරෝධතාව: හිමිනමක් ඇතුළු 8ක් රිමාන්ඩ් 

අන්තරේ විරෝධතාව: හිමිනමක් ඇතුළු 8ක් රිමාන්ඩ් 
කොළඹ නගරයේ පවත්වන ලද සයිටම් විරෝධතා පාගමන අවස්ථාවෙදී නීති විරෝධී ලෙස කටයුතු කළ විශ්වවිද්‍යාල සිසුන් 08 දෙනා හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) දිනයේ පැවැත් වූ විරෝධතා පාගමන අවස්ථාවේදී නීති විරෝධී ලෙස කටයුතු කරන ලද විශ්වවිද්‍යාල සිසුන් 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අධිකරණ නියෝග කඩකරමින් කටයුතු කරන ලද පුද්ගලයින් 07 දෙනෙකු සහ හිමි නමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය නොතකමින් කටයුතු කළ මෙම පිරිස විසින් පාගමන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහරදී සාමය කඩ වන ලෙස හැසිරී ඇති බව පොලීසිය පැවසී ය. මාලබේ සයිටම් ආයතනය වහා අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක්‌ මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය ඊයේ (17) සවස සංවිධානය කළ විරෝධතා පා ගමනට කොළඹ මහ නගර සභාව ආසන්නයේදී හා නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් අතර රාජකාරි නිමවා නිවෙස්‌ බලා යමින් සිටි පිරිස්‌ ද සිටි බව වාර්තා වේ. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්‌ඩලය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි. විශ්වවිද්‍යාල සිසුන් 2000 කට අධික පිරිසක්‌ කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර, ඔවුහු ඩී. ආර්. විජයවර්ධන මාවත ඔස්‌සේ කොම්පඤ්ඤවීදිය හරහා යුනියන් පෙදෙසට ළඟ වූහ.

පොලිසිය ඉබ්බන්වල හන්දිය වසා දමා තිබීම නිසා විශ්වවිද්‍යාල සිසුහු බේබෲක්‌ පෙදෙසට පැමිණ උද්‍යාන මාවත ඔස්‌සේ පුරහල ප්‍රදේශයට ළඟා වීමට උත්සාහ දැරූහ. එම අවස්‌ථාවේදී පොලිසිය පළමු කඳුළු ගෑස්‌ ප්‍රහාරය එල්ල කළ අතර, එහිදී විශ්වවිද්‍යාල සිසුහු නෙළුම් පොකුණ දෙසට හා විහාරමහාදේවී උද්‍යානය තුළට දිව යන්නට වූහ. මෙහිදී කඳුළු ගෑස්‌ වැදීමෙන් රාජකාරි නිමවා නිවෙස්‌ බලා යන පිරිස්‌ ද දැඩි අපහසුතාවකට මුහුණ පෑහ.

අනතුරුව විශ්වවිද්‍යාල සිසුහු නෙළුම් පොකුණ රඟහල අසල ආනන්ද කුමාරස්‌වාමි මාවත ඔස්‌සේ පුරහල දෙසට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී එම සිසුනට හා විහාරමහාදේවි උද්‍යානය තුළ රැඳී සිටි සිසුන්ට ද කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල විය. මෙම කඳුළු ගෑස්‌ ප්‍රහාර නිසා විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටි කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියෝ ද පීඩාවට පත් වූහ. මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් පුරහල දෙස සිට 120 මාර්ගයේ හා 138 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයට ඊයේ සහ අද (18) විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක්‌ නිතුත් කර තිබියදී මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබිණි. මෙම කඳුළු ගෑස්‌ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මෙසේ පැවැසීය.

“උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්නයි අපි ආවේ. දැන් ඇමැතිවරු පොලිසිය දාලා අදත් කඳුළු ගෑස්‌ ගැහුවා. අපිට හොඳට පුරුදුයි කඳුළු ගෑස්‌ කාලා. හොඳට පුරුදුයි බැටන් පොලු පහර කාලා. හොඳට පුරුදුයි වතුර ප්‍රහාර කාලා. හැබැයි අනික්‌ පැත්තට නැවත දුවන්නේ නැතුව ආපසු උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න ලෑස්‌තියි කියලා මේ ආණ්‌ඩුවට කියන්න කැමතියි.“ මේ අතර අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් සිසුහු 15 දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad