වකුගඩු රෝග හදන තහනම් ග්ලයිපොසේට්‌ තොගයක්‌ රේගු දැලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

වකුගඩු රෝග හදන තහනම් ග්ලයිපොසේට්‌ තොගයක්‌ රේගු දැලේ

නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත් තිබූ ග්ලයිපොසේට්‌ විෂ රසායන අඩංගු කන්ටේනර් දෙක විවෘත කර රේගු නිලධාරීන් විසින් පරීක්‌ෂා කරන අයුරු.

නීති විරෝධී ලෙස මෙරටට ගෙනඑන ලද රුපියල් කෝටි ගණනක්‌ වටිනා තහනම් වල් නාශකයක්‌ වන ග්ලයිපොසේට්‌  ලීටර් 32,000 ක්‌ රේගු නිවාරණ අංශය මඟින් ඊයේ (20 දා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම විෂ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

චීනයේ සිට මෙම විෂ රසායනික ද්‍රව්‍ය තොගය අඩි 20 කන්ටේනර් දෙකක බහා මෙරටට ගෙනැවිත් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‌ෂ ධර්මසේන කහඳව මහතා පැවසීය. චීනයේ සිට "MSC TINA" නමැති නෞකාවෙන් මෙම විෂ රසායන ද්‍රව්‍ය තොගය පසුගිය මාර්තු මස 15 වැනිදා මෙරටට ගෙනැවිත් තිබූ බවත් කාබනික සිලිකෝන් නමැති නාමය වංචා සහගත ලෙස යොදා ගනිමින් මේවා ගෙන්වා ඇති බවත් හෙතෙම පැවසීය.

කාබනික සිලිකෝන් (Non Lonic) යන නාමය සාමාන්‍යයෙන් භාවිත වන භාණ්‌ඩ නාමයක්‌ නොවන බැවින් හා ආනයනය කර තිබූ ස්‌වභාවය අනුව රේගුවට ඇතිවූ සැකය මත කන්ටේනර් දෙක රේගු භාරයට ගෙන පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය හරහා පරීක්‌ෂා කිරීමෙන් පසු එහි අඩංගුව ඇත්තේ ග්ලයිපොසෙට්‌ විෂ රසායන ද්‍රව්‍ය බව තහවුරු කරගෙන ඇත.

මෙම තහනම් විෂ රසායනික ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක්‌ විසින් මෙරටට ගෙනැවිත් තිබූ බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බවත් රේගු අධ්‍යක්‌ෂ ධර්මසේන කහඳව මහතා සඳහන් කළේය.අදාළ කන්ටේනර් දෙකෙහි ලීටර් 200 බැගින් වූ බැරල් 160 ක්‌ තිබූ බව ද හෙතෙම පැවසීය. වකුගඩු රෝග සඳහා සෘජු ලෙසම මෙම රසායන ද්‍රව්‍ය හේතුවන බව හඳුනාගැනීමෙන් පසු ඒවා මෙරටට ගෙනඒම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad