මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි

මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙස ඉදිරිපිට තිබෙන තංගල්ල රෝහලේ තත්ත්වය පිළිබඳ තමන් පුදුම වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළද කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බව මෙයින් ඔප්පු වන බව ස අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූයේ පෙරේදා (14) තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ නව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“හිටපු ජනාධිපතිවරයෙක්, හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයකුගේ පුත්‍රයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මේ සියලු දෙනා සිටියදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ තරම් අඩුපාඩු තිබෙනවා කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. මෙයට ප්‍රධානතම හේතුව මයික්‍රෝ ඩිවෙලොප්මන්ට් කියන එක. ඒ කියන්නේ එක් තැනක ඉඳලා තීන්දුව අරගෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මයික්‍රෝ ඩිවෙලොප්මන්ට් කියන එක ගැන කිසිම තැකීමක් කරලා නැහැ. ඒ කියන්නේ කුඩා පරිමාණයේ ඒවා. අද විශේෂයෙන්ම මේ තංගල්ල රෝහල හිටපු ජනාධිපතිතුමාගේ නිවෙස ඉදිරිපිට තිබෙන මේ රෝහලේ තත්ත්වය බැලුවාම ඉතාමත්ම පුදුමසහගතයි. ඒ නිසා අපි ඊයෙත් අදත් විශාල තීන්දු ගණනාවක් ගත්තා. සෑම රෝහලක්ම නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දීමට අපි තීන්දු ගත්තා.“

“හම්බන්තොට දිස්ත්‍රික්යේ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ පළාත් අමාත්‍යාංශයේ ප්‍රධානීන් එකතුවෙලා මේ ගත්ත තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් දිල්ප් වෙදආරච්චි ඇමැතිතුමාටත් චමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාටත් මේවා මම භාර දෙනවා අතරමැද අධීක්ෂණය කරලා මේවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති තැන්වලදී මට දන්වලා මේවා හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලන හයිය ලබා දෙන්න කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනඟන්න බැහැ එක එක්කෙනා ඉල්ලන විදියට. ඒකට සැලසුමක් තිබෙන්නට ඕනෑ. ඒ සැලසුම් අපි සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කරනවා. නිල නිවාස පිළිබඳවත් අපි ගණනය කරලා තිබෙනවා. අපි කැබිනට් අනුමැතිය ලබාගත්තා නිල නිවාස පන්දාහක් හැදීමට. විශේෂඥ වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට දෙවැනි වටයේදී හෙද හා පරිපූරක වෛද්‍ය සේවාවන් ඇතුළු අනෙකුත් සුළු සේවක සියලුම දෙනාට අවශ්‍ය අයට නිල නිවාස තැනීමේ දෙවැනි අදියරත් අපි ආරම්භ කරනවා. නිල නිවාස ප්‍රශ්නය 2018, 2019 වෙනකොට අපි සම්පූර්ණයෙන් අවසන් කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad