බලාගෙන හිටියා වගේ මිනිස්සු සාස්තර කියන සූත්තරය මෙන්න - ’’හරි නම් හරි කියපන් දරුවා’’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

බලාගෙන හිටියා වගේ මිනිස්සු සාස්තර කියන සූත්තරය මෙන්න - ’’හරි නම් හරි කියපන් දරුවා’’

නිමිති, පේන සහ අංජනම් ආදිය මගින් අප සිත් තුළ ඇති කරුණු සහ අපගේ අතීත, වර්තමාන සහ අනාගත තත්ත්වයන් සේම අප මුහුණ පා හිඳින යම් යම් ප‍්‍රශ්න, ගැටලූ, අර්බුද සඳහා බලපාන ගුප්ත හේතූන්ද අනාවරණය කරගත හැකියැයි බොහෝ දෙනෙක් සිතනවා.

අප ජන සංස්කෘතියට අනුව සෑමවිටම මෙවැනි ශාස්ත‍්‍ර කියැවෙනුයේ මෙම විශ්වයේ ඇතැයි සිතන මිනිස් බුද්ධියට වඩා අතිශයින් ප‍්‍රබල බුද්ධි ප්‍රභවයක ආලෝකයෙනි. දේව වරමින් සහ දේවාරූඪයෙන් වංශයෙන් දෙයාකාරයකින් හඳුන්වනු ලබනුයේ ද එම විශ්වීය බුද්ධියයි. මේ අතර දේව වරම, දේවාරූඪය යන පැරණි හැඳින්වීම් වෙනුවට මෙම බල විශ්ව ශක්තිය ලෙසම හඳුන්වමින් මෙලෙස ශාස්ත‍්‍ර කියන්නෝ දැන් අප සමාජයේ සිටිති.

කෙසේ හෝ මෙම ශාස්ත‍්‍ර කීම ක‍්‍රම දෙකකින් සිදුවේ. ඒ ප‍්‍රකෘති මනැසින් හා මවා ගන්නා ආරූඪයකිනි. මෙහිදී සැබැවින්ම සිදුවනුයේ ස්වාභාවික ආරූඪයකට වඩා තමන් විසින් මවාගන්නා ලද සමාරෝපණ තත්ත්වයක් බවයි පෙනී යන්නේ. අප කවුරුත් දන්නා පරිදි මෙම ශාස්ත‍්‍ර කීම සම්බන්ධ පාර්ශ්වයන් දෙකකි. එනම් ශාස්ත‍්‍රය කියන්නා සහ අසන්නා වශයෙනි. යම් ශාස්ත‍්‍රයක් මගින් සත්‍ය හා නිවැරදි කරුණු පැවැසීමට නම් මෙම දෙපාර්ශ්වයේ ඒකාබද්ධතාවක් තිබිය යුතුමය. එසේ නොමැති වුවහොත් වැඩේ වරදිනවා.

‍පොදු පිළිගැනීම අනුව මෙලෙස ගුප්ත බලයෙන් ශාස්ත‍්‍ර කීම ප‍්‍රකෘතිය ඉක්මවන කටයුත්තකි. එනිසා ඒ සඳහා සතියේ දිනවල වැඩකරන වේලාවන් තුළ වැනි සම්මතයක් භාවිතා නොකිරීම මෙම ශාස්ත‍්‍රකරුවන් අනුගමනය කරන ‍පොදු පිළිවෙතකි. එහිදී ඇතැම් ශාස්ත‍්‍රකරුවන් ඒ සඳහා බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයන් යොදාගන්නා අතර තවත් පිරිසක් සතියට දින දෙකක් පමණක් තම ජීවිකාව සඳහා යොදාගැනීමෙන් ලැබෙන ආදායම මඳවීම නිසා දෝ සතියේ තවත් දිනයක් හෝ දෙකක් ඊට ඈඳා ගනිති.

නමුදු මෙම ශාස්ත‍්‍ර කීමේ සංස්කෘතිය මගින් ඉන් සාමාන්‍ය ජනතාවට සියුම් ලෙස ඒත්තු ගන්වන කරුණක් තිබෙනවා. එනම් එම විශ්වීය ශක්තිය ස්වාභාවික ලෙස ජනනය වන අවස්ථාවලදී හැර හිතු හිතූ වේලාවන්හිදී අපට මෙම ශාස්ත‍්‍ර ඇසීම කළ නොහැකිය යන්නය.  එමෙන්ම මෙම ශාස්ත‍්‍ර ඇසීම් සඳහා වැය කළ යුතු ගාස්තුවේ ද කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව ද දනියි.

ශාස්ත‍්‍රයක් ඇසීමට රුපියල් දෙසීයක් වැයකළ යුතු බව නොදන්වා ඒ සඳහා රුපියල් දෙසීය දොළහක් වැය වන බව ඇඟවීම සාමාන්‍ය තත්ත්වයකි.  එමගින් එහි ද කිසියම් අසාමාන්‍යතාවක් ඇති බවට ශාස්ත‍්‍ර අසන්නවුන් තුළ සියුම් මානසික ඇනවුමක් ඇතිකෙරේ. මෙයද එම ශාස්ත‍්‍රකරුවන්ගේ සාමූහික උපාය ඥානය මනාව පිළිබිඹු කරන්නකි.

එමෙන්ම මෙම ශාස්ත‍්‍ර කියන ස්ථාන සම්බන්ධ පරිසරයන්හිදී තද රතු, තද නිල්, තද කහ වැනි තද පැහැති තිරපට විවිධ පැහැයන් ගෙන් යුතු මල් ආදී වර්ණ විෂමතා තුළින් ද ශාස්ත‍්‍ර අසන්නවුන්ගේ මනැස් තුළ තීව‍්‍ර මානසික ඇනවුම් පිබිදුවීම සිදුවෙයි. මීට අමතරව තම ආගමික සංස්කෘතික පදනම අනුව මනසට තීව‍්‍ර බලපෑම් ඇතිකරන ධූපමය ආඝ‍්‍රාණයන් ද මෙම ස්ථානවල නොඅඩුවම භාවිත කෙරෙන බව ඔබද අත්දැක තිබෙන්නට පුළුවන. 


ඊට අමතරව මෙම ශාස්ත‍්‍රය කීමට පෙර අසන්නාට තබා කියන්නාට වත් එකම වදනක්වත් නොවැටහෙන දේව භාෂාව නම් වන අමුතුම ශබ්ද මාලාවක් මුවින් පිටකරන ශාස්ත‍්‍රකරුවෝ බොහෝ විට ඒ සමග තියුණු නාද නිකුත්වන සීනු සහ බෙර ද හඬවති. මෙම සියලු තත්ත්වයන් යටතේ ඒ වන විට ශාස්ත‍්‍ර පිළිබඳ විශ්වාසයකින් යුතු තැනැත්තාගේ මනැස හොඳ හැටිි හිරිවැටී ඇතිබව රහසක් නොවේ. බොහෝ ශාස්ත‍්‍ර ‍පොළවල දේව වරමින් හෝ දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කීම ඇරඹෙනුයේ ඉන්පසුවය.

දැන් අපි මඳකට එවන් තැනකින් ශාස්ත‍්‍රයක් ඇසීමට යන තැනැත්තා පිළිබඳව විමසා බලමු. යමකු මෙවන් ගුප්ත ශාස්ත‍්‍රයක පිහිට පතනුයේ තම ජීවිතය සම්බන්ධ කුමක් හෝ නිරාකරණය කරගත නොහැකි ප‍්‍රශ්නයක්, ගැටලූවක්, අර්බුදයක් හමුවේ පමණි. එසේම ඒ තැනැත්තා ඒ ශාස්ත‍්‍රය ඇසීමට යනවිට ඒ ගැටලුව මනසේ මස්තකප‍්‍රාප්ත කරගනියි. එමෙන්ම ඒ වනවිට තරමක හෝ මානසික ආතතියකට විඩාවකට පත්ව හිඳින එම තැනැත්තා තුළ ශාස්ත‍්‍රයේ පිහිටෙන්වත් තම ප‍්‍රශ්නයට, ගැටලූවට, අර්බුදයට කිනම් හෝ විසඳුමක්, පිහිටක්, හව්හරණක් ලැබේය යන විශ්වාසය තදින්ම තහවුරු වෙයි. 


ඒ අනුව මෙවන් ශාස්ත‍්‍ර කීම්වලදී පැවැසෙන තම ගැටලූවට අදාළ නොවන කරුණු නොසලකාහරිමින් හා මනැසින් බැහැර කරමින් ඉන් පැවැසෙන තම ගැටලූවට අදාළ කරුණු පමණක් දැඩිව මනැසින් ග‍්‍රහණය කරගැනීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. සංජානන විනිතිය නම් වන මනෝවිද්‍යාත්මක න්‍යාය ද මීට යම් තරමකින් සම්බන්ධය. මෙවන් ශාස්ත‍්‍ර කීම්වලදී බොහෝ දෙනකු නොතකා හරින තවත් වැදගත්ම දෙයක් තිබේ. එනම් ශාස්ත‍්‍ර වශයෙන් එලෙස පැවැසෙන කරුණු සෘජුවම එක එල්‍ලේම නොපවසා ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ශාස්ත‍්‍රකරු ශාස්ත‍්‍ර අසන්නාගෙන්ම විමසා සිටීමය.

"හරි නම් හරි කියපන් දරුවා නැත්නම් නෑ කියපන්" දේවරූඪයෙන් ශාස්ත‍්‍ර කියන බව පවසන මෑණිවරුන් ශාස්ත‍්‍රය වශයෙන් කරුණින් කරුණ පවසන අතරේ එසේ යළි විමසා ඇති අවස්ථා සිය ගණනකි. ඒ අනුව ශාස්ත‍්‍ර කීමක් ලෙස සමාජයේ බොහෝදෙනකු හඳුන්වන මෙම තත්ත්වය වඩාත් නිවැරදි ලෙස අර්ථකථනය කළ හැක්කේ ශාස්ත‍්‍ර කීමක් ලෙස නොවේ. ශාස්ත‍්‍රකරු විසින් ශාස්ත‍්‍රය අසන්නා ගෙන් කරනු ලබන ප‍්‍රතිවිමසීමක් ලෙසිනි. එමෙන්ම ඔවුන්ගේ මේ මෙම ප‍්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි මාදිලියක් තිබේ. එනම් ඔවුන් අසන එක් ප‍්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනකුත් මුහුණ දෙන ‍පොදු ප‍්‍රශ්න කට්ටලයක්ම මනාසේ ගොනුවී තිබිමය.
,
ප‍්‍රාණයක්, භූමියක්, සිත්වේදනාවක්, ලෙඩක් , දුකක් පෙන්නුම් කරනවා දරුවා. "ඔව් නම් ඔව් කියාපන් නෑ නම් නෑ කියාපන්" ශාස්ත‍්‍රකරුවෙකු හෝ කාරියක ශාස්ත‍්‍ර අසන්නකුගෙන් එසේ අසන විට ශාස්ත‍්‍ර අසන්නවුන්ගෙන් සියයට හැත්තෑ පහක්ම "ඔව්" කීම අතිශය ස්වාභාවිකය. මන්දයත් එවැනි ප‍්‍රශ්න මෙම සමාජය පුරා කොතෙකුත් දක්නට ලැබෙන බැවිනි. "තවම ඔය ප‍්‍රශ්නෙ කෙළවරක් නෑ නේද දරුවා" ශාස්ත‍්‍රකරු හෝ කාරිය ඉන්පසුව අසයි. "දැන් ඉතින් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?’ ශාස්ත‍්‍ර ඇසීමට යන තැනැත්තා "නෑ" කී සැණින් ශාස්ත‍්‍රකරු අසා සිටියි. "ආයිමත් ඉස්පිරිතා‍ලේ ඇඞ්මිට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ නම්"

ශාස්ත‍්‍ර අසන්නා එසේ කී සැණින් ඔහුගේ මෙම ශාස්ත‍්‍ර විමසුම රෝගියෙකු පිළිබඳව බව ශාස්ත‍්‍ර කියන්නා සැනින් වටහා ගනී. එලෙස ශාස්ත‍්‍ර කීමේ පළමු වටය නිමාකරන ඔහුට ඉන්පසු දෙවනි වටයට පැමිණීමට පුළුවන්. මෙලෙස ශාස්ත‍්‍ර කීමේ මුවාවෙන් ශාස්ත‍්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂම අයුරින් දැනගන්නා කරුණු මතින් කෙමෙන් කෙමෙන් තමන් පවසන ශාස්ත‍්‍රය ගොඩනගා ගන්නා මෙම උපාය අනුයාත බැහැරලීමේ ක‍්‍රමෝපාය නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.

මේ ආකාරයෙන් මුදල් සෙවීම ජීවනෝපාය කරගත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම රට පුරා විශාල වශයෙන් සිටියි. ඔවුන් සොයාගෙන යන භක්තිකයින් අති විශාල පිරිසක් ද සිටීම කණගාටුවට කරුණක්.

තිලක් සේනාසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad