රු.25,000 දඩය නීති පොතට එයි: විශේෂ කමිටුවේ තීරණය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

රු.25,000 දඩය නීති පොතට එයි: විශේෂ කමිටුවේ තීරණය මෙන්න

රු.25,000 දඩය නීති පොතට එයි: විශේෂ කමිටුවේ තීරණය මෙන්න

රථ වාහන වැරැදි හයක් සම්බන්ධයෙන් වන උපරිම දඩය රුපියල් විසිපන් දහසක් ලෙස නීතිගත කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සංශෝධිත මේ කමිටු වාර්තාව බස් සංගම් ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සංගම් කිහිපයක් ප්‍රවාහන අමාත්‍යාංශයට ඊයේ (15) කැඳවා අදහස් ලබා ගැනීම සඳහා එය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කරන්නේ මුලදී රථවාහන වැරැදි හතක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම දඩ මුදල රථ වාහන වැරැදි හයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවයි.

බීමතින් රිය ධාවනය, රියදුරු බලපත්‍රයත්, ආදායම් බලපත්‍රයත්, රක්ෂණ සහතිකයත් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, රියැදුරු බලපත්‍රයක් නොමැති අයකුට වාහනය ලබාදීම යන වැරැදි සම්බන්ධයෙන් මෙම දඩ මුදල ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවද මේ දඩ මුදල අධිකරණය හරහා ක්‍රියාත්මක වන බවත් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අදාළ පාර්ශ්වයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඉදිරියේදී මෙම සංශෝධිත කමිටු මණ්ඩල වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවැසීය.

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට එම සංශෝධිත වාර්තාව ඉදිරිපත් කොට එය නීතිගත කිරීමට අදහස් කර ඇති බවද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාල සීමාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් රුපියල් විසිපන් දහසේ මෙම දඩ මුදල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ මණ්ඩලයට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති යන සාමාජිකයෝ ඇතුළත් වූහ.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad