සුළු ජන ගැටළු පිළිබඳ නියෝජිතවරිය දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

සුළු ජන ගැටළු පිළිබඳ නියෝජිතවරිය දිවයිනට

සුළු ජන ගැටළු පිළිබඳ නියෝජිතවරිය දිවයිනට

සුළුතර ජන කොටස්වල ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වන රීටා ඉසාක් න්ඩියායේ මහත්මිය අද (10) දිවයිනට පැමිණියාය.

අද පෙරවරුවේ ඇය ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ප්‍රකාශ කරයි.

ඇය ඇතුළු පිරිස දින 10ක කාලයක් මෙරට රැදී සිටිමට නියමිතය.

එම කාලය තුළ රීටා ඉසාක් මහත්මිය මෙරට සුළුතර ජන කොටස්වල ගැටළු සහ දුක්ගැනවිලි පිළිබඳ සෘජුවම තොරතුරු ලබා ගැනීමට නියමිතව ඇත.

ඒ සඳහා ඇය කොළඹ මෙන්ම උතුර, උතුර මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සංචාරය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

ඊට අමතරව රීටා ඉසාක් මහත්මිය රාජ්‍ය නිලධාරීන්, ජාතික මානව හිමිකම් කොමිසම සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු වෙනත් පාර්ශවකරුවන් විශාල පිරිසක් හමුවීමට සැලසුම් කර තිබේ.

ඇයගේ මූලික නිරීක්ෂණයන් ලබන 20 වනදා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අනාවරණය කිරීමට නියමිතය.

සුළුතර ජන කොටස්වල ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියගේ මෙරට සංචාරයේ සම්පූර්ණ වාර්තාව ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගෝලීය වශයෙන් සුළුතර අයිතිවාසිකම් ක්ෂේත්‍රය අධීක්ෂණය, වාර්තා කිරීම සහ උපදේශනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ස්වාධීන විශේෂඥයෙකු ලෙස රීටා ඉසාක් න්ඩියායේ මහත්මිය පත්කර තිබේ.

මෙරට රජයේ ආරාධනයකට අනුව ඇයගේ සංචාරය සිදු වෙයි.

තම සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රීටා ඉසාක් න්ඩියායේ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ රටතුළ විවිධ කණ්ඩායම් අතර එක්සත් බව, වෙනස් කොට නොසැලකීම, සාමය සහ අවබෝධය තහවුරු කිරීම යනාදියේදී ආණ්ඩුවට තවදුරටත් අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ තීරණාත්මක කාලයේදී ආණ්ඩුවට සහ පොදුවේ ශ්‍රී ලාංකික සමාජයට එම අභියෝග හා විසඳුම් හදුනාගැනීම සඳහා සහයවීම තම සංචාරයේ අරමුණ බවද ඇය ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad