තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ දුරකතන සාක්ෂි මකා දමලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ දුරකතන සාක්ෂි මකා දමලා

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ දුරකතන සාක්ෂි මකා දමලා

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මහතා ජීවිතක්ෂයට පත්ව සිටි දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියන් පෙරේරා මහතාට ලබාදුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය.

ඒ අනුව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිළධාරීන් ඒවා සියල්ල මකා දමා ඇති බවත් එම නිලධාරීන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බවත්ය.

එමෙන්ම එම දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන පුද්ගලයන් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය.

මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත් ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය.

රහස් පොලිසිය අදාළ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත් ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad