'උතුරේ බෞද්ධ විහාර ඉවත් කිරීමේ තීරණය අසාධාරණයි' - විමලසාර හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

'උතුරේ බෞද්ධ විහාර ඉවත් කිරීමේ තීරණය අසාධාරණයි' - විමලසාර හිමි

'උතුරේ බෞද්ධ විහාර ඉවත් කිරීමේ තීරණය අසාධාරණයි' - විමලසාර හිමි

උතුරේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන කීපයක් ඉවත් කිරීමට උතුරු පළාත් සභාව ගෙන ඇති තීරණය අසාධාරණ බව දන්වමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන් රජයටත්, මහා නායක හිමිවරුන්ටත් දැනුම් දී තිබේ.

උතුරු පළාත් සභාව ගෙන ඇති මෙම තීරණය නිසා රට තුළ අනවශ්‍ය ප්‍රශ්න රැසක් ඇති විය හැකි බැවින් වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන ලෙස නායක හිමියන් ජනාධිපතිවරයාගෙනුත් අග්‍රාමාත්‍යවරයාගෙනුත් ත්‍රයිනිකායික මහානායක හිමිවරුන්ගෙනුත් ඉල්ලා සිටී.

නායක හිමියන්ට අමතරව පළාතේ දේශපානඥයින් කිහිප දෙනෙකු ද බහුජන සංවිධාන කීපයක් ද රජයටත් වගකිවයුතු නිලධාරීන්ටත් ලිපි යවමින් ඉල්ලා ඇත්තේ ආගමික ස්ථාන සම්බන්ධයෙන් මෙවැනි තීරණ තීන්දු ගැනීම දැඩි අසාධාරණයක් බවයි.

උතුරු පළාත් සභාව ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධස්ථාන ඉදි කොට ඇත්තේ දෙමළ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්වල වීමත් බෞද්ධයින් නොමැති පළාත් වල විහාරස්ථාන ඉදි කිරීමෙන් පලක් නොමැති වීමත් නිසා මෙම තීරණය ගත් බවයි.

කෝකිලායි විහාරය සහ කිළිනොච්චිය ඉරණමඩු පළාතේ ඉදිකළ බුදුමැදුර ඉවත් කළ යුතු බවට උතුරු පළාත් සභාව තීරණය කොට ඇති අතර මුලතිව් නායාරු පළාතේ හා මාන්කුලමේ ඉදිකොට ඇති තවත් බෞද්ධ විහාරස්ථානයක් ද පෞද්ගලික ඉඩම්වල ඉදිකොට ඇති බැවින් ඒවාද ඉවත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒමට ද යයි.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගෙන් විමසූවිට ඔහු කියාසිටියේ පෞද්ගලික ඉඩම්වල කුමන හෝ ආගමකට අයත් සිද්ධස්ථාන ඉදි කොට ඇත්නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් අනවශ්‍ය ප්‍රශ්න ඉන් ඇතිවිය හැකි බැවින් රජය ඒ සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවත්ය.

කෙසේවෙතත් තමන් මේ පිළිබදව කරුණු සොයමින් සිටින වග කී ආණ්ඩුකාරවරයා ඉතාම පැහැදිලිව විමසා බැලිය යුතු වන්නේ එම ඉඩම් සත්‍ය වශයෙන්ම පෞද්ගලික ඉඩම්ද යන කාරණය යැයිද සදහන් කළේය.

මේ අතර ආණ්ඩුකාරවරයා විදේශ ජනමාධ්‍යකට උතුරු පළාතේ දැනට ඇත්තේ බෞද්ධ විහාරස්ථාන 13තුනක් බවට කළ ප්‍රකාශය ද උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ ප්‍රතික්ෂේප කොට සිටියහ.

බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යංශයේ ලියාපදිංචි පන්සල් 29ක් වව්නියාවේ පමණක් ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.

ඊට අමතරව යාපනයේ නාගවිහාරය, නාගදීපය යන විහාරස්ථාන ද ,කිළිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්කවල ද ලියාපදිංචි විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඇති බව සියඹලාගස්වැවේ විමලසාර හිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad