බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය



රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවසට ගෙන යාම සඳහා වාහනයක් සපයා ගැනීමට වත්කමක් නොතිබුණු සැමියෙකු විසින් එම මළ සිරුර උරහිස මත තබාගෙන නිවස වෙත ගමන් කළ පුවතක් නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

කලාහන්දි රජයේ දිස්ති‍්‍රක් රෝහලේදී ඊයේ අළුයම දනා මාජිගේ බිරිඳ අමාන්ගේ ජීවිතක්ෂයට පත් වී තිබුණි.
42 හැවිරිදි අමාන්ගේ මිය ගොස් තිබුණේ ක්ෂය රෝගය වැළඳීමෙනි.
මිය ගිය බිරිඳගේ සිරුර රෝහලේ සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි සිය නිවසට රැගෙන යාම සඳහා ගිලන් රථයක් දනා මාජි විසින් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලූම් කර තිබුණි.
නමුත් රෝහල් බලධාරීන් විසින් ඔහුගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නොමැත.

ඉතා දුප්පත් පුද්ගලයෙකු වුණු දනා මාජිට බිරිඳගේ මළ සිරුර ගමට ගෙන යාම සඳහා කුලී පදනම මත වාහනයක් ලබා ගැනීමට මුදල් නොතිබුණි.
පසුව දනා මාජි විසින් බිරිඳගේ මළ සිරුර රෙදිවලින් ඔතා උරහිස මතින් ගෙන රෝහලේ සිට නිවස බලා පා ගමනින් ගමන් කර ඇත.
ඔහු සමඟ ඔහුගේ 12 හැවිරිදි දියණියද ගමන් කර තිබේ.
මෙම පුවත ඔරිස්සාවේ රූපවාහිනී නාලිකාවක් මඟින් ප‍්‍රචාරය කිරීමෙන් පසුව ප‍්‍රාන්ත සෞඛ්‍ය සේවාව ඉදිරිපත් වී දනා මාජිට බිරිඳගේ මළ සිරුර ඔහුගේ නිවසට ගෙන යාම සඳහා අවශ්‍ය ගිලන් රථ පහසුකම් හා අවමංගල්‍යධාර සපයා ඇත.
ඒ වන විට දනා මාජි බිරිඳගේ මළ සිරුර ඔසවාගෙන පා ගමනින් කිලෝමීටර් 12ක් පමණ ගමන් කර තිබුණි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඔරිස්සා ප‍්‍රාන්ත රජය විසින් රෝහල්වල සිට මළ සිරුරු නොමිලේ ප‍්‍රවාහනය කිරීම සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය ගිලන් රථ 37ක් රෝහල්වලට ලබා දී තිබියදී මෙවැනි තත්ත්වයක් උදා වීම ගැන ප‍්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරයා විසින් ප‍්‍රාදේශීය බලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
නැගෙනහිර ඉන්දියාවේ පිහිටි ඔරිස්සා ප‍්‍රාන්තය එරට අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ප‍්‍රාන්තවලින් එකකි.


No comments:

Post a Comment

Post Bottom Ad